ගෝඨාභය මැතිවරණ නීති කඩලා - එජාප

Image caption පසුගිය 13 වැනි දින ආරක්ෂක ලේකම්වරයා මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් ඇමතීම 'නීති විරෝධීයි'

පාලක පොදු ජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි වීම මගින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කොට ඇතැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට තිබේ.

පසුගිය 13 වැනි දින පදනම් ආයතනයේ පැවැත්වුණු පාලක සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයාගේ මංගල රැලිය අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රචාරක ව්‍යාපාරයට එක් වුනු බවයි, විපක්ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

උදය ගම්මන්පිල හිටපු පළාත් සභා ඇමතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයට ආරක්ෂක ලේකම්වරයා සහභාගි වීම පිළිබඳව තමන් කළ පැමිණිල්ල ගැන අවධානය යොමු කරන බවට මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ යයි කරු ජයසූරිය මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට පැවසීය.

"අපේ විරුද්ධත්වයක් නෑ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලන පක්ෂ රැස්වීමකට සහභාගි වෙනවට. නමුත් ශ්‍රී ලංකා ජනරජයේ ආරක්ෂක ලේකම්වරයා එම රැස්වීමට සහභාගි වුනොත් එතන විශාල ප්‍රශ්නයක් තියෙනව," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ ප්‍රබලම නිලධාරියා ප්‍රසිද්ධියේ දේශපාලනයේ යෙදෙන්නේ නම්, අනෙකුත් රාජ්‍ය සේවකයන්ගෙන්ද අපක්ෂපාතී සේවයක් බලාපොරොත්තු විය නොහැකි බවයි, පැමිණිල්ල භාර දුන් එජාප නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ.

රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේ දේශපාලනයේ නිරත වීම වරදක් බව මැතිවරණ කොමසාරිස්වරයාද පිළිගත් බවත් ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර