ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පඬුරු වෙනුවට ඉලෙක්ට්‍රොනික සල්ලි

කාසි වෙනුවට ඉලෙක්ට්‍රොනික මුදල් පිළිගැනීමට පූජනීය ස්ථාන සූදානම් විය යුතු බවට ඉල්ලීම් කෙරුනද එවැනි ක්‍රමයක් ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ සැදැහැවත් භාවය හා අභිලාෂයන් හා කෙසේ ගැලපෙන්නේ ද යන්න ගැටලුවක් බවයි කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.සී.බණ්ඩාරනායක ප්‍රකාශ කළේ.

Image copyright Defense.lk

පන්සල්, දේවාල ඇතුළු පූජනීය ස්ථාන වලට ආධාර කිරීමේ දී කාසි වෙනුවට ඉලෙක්ට්‍රොනික මුදල් පිළිගැනීමට පූජනීය ස්ථාන සූදානම් විය යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉකුත් දා යෝජනා කොට තිබිණ.

ආගමික ස්ථානවල විශාල වශයෙන් ගොඩ ගැසී තිබෙන කාසි එකතු කර ගැනීම ගැටලුවක් වී ඇති නිසා ඊට විසඳුමක් වශයෙනුයි එම යෝජනාව ඉදිරිපත් කොට තිබුනේ.

භාවිතයේ පවතින ඉලෙක්ට්‍රොනික මුදල් භාර ගැනීමේ යන්ත්‍ර ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව ද මහා බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

ආගමික ස්ථානවල විශාල වශයෙන් ගොඩ ගැසී තිබෙන කාසි එකතු කර ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබාදීමේ වැඩපිළිවෙලක් මහ බැංකුව විසින් ආරම්භ කොට තිබෙන බවයි ඔහු පවසුවේ.

දඹදිව වන්දනාව

දඹදිව වන්දනාවේ යෙදෙන ශ්‍රී ලාංකික බැතිමතුන් විසින් එරට ආගමික ස්ථාන වලට පූජා කර තිබෙන කාසි ප්‍රමාණය ටොන් 30 ක පමණ වන බවත් ඒවා ආපසු ලබාගැනීම පිළිබඳව අවධානය යොමුව ඇති බවත් මහ බැංකු අධිපතිවරයා එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.සී.බණ්ඩාරනායක ප්‍රකාශ කළේ තමන් හඳුන්වා දී ඇති මුදල් තැන්පත් කිරීමේ ක්‍රමය සෙසු පූජනීය ස්ථාන ද අනුගමනය කරනනේ නම් මහා බැංකුව අද මුහුණ දෙන ගැටලුව අවම කර ගත හැකි බවයි.