නාගරික සංවර්ධන අධිකාරියෙන් 'මාධ්‍යයට බලපෑම්'

Image copyright Getty
Image caption 'ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස අතින් දැඩි පසුබෑමක'

නාගරික සංවර්ධන අධිකාරිය මගින් මාධ්‍ය ආයතන වලට කරන බලපෑම් නතර කළ යුතු යයි ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

කොළඹ වනාතමුල්ල ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීම පිළිබඳ වැඩසටහනක් TNL රූපවාහිනී සේවයේ නැවත ප්‍රචාරය කිරීමට සූදානම් ව තිබිය දී නාගරික සංවර්ධන අධිකාරියෙන් එල්ල වූ බලපෑම් මත එය නවතා දමා ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ කමිටු සභාපති නීතිවේදී ලාල් විජේනායක චෝදනා කළේය.

යුද හමුදාව

කොළඹ නගරයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු වලට යුද හමුදාව සම්බන්ධ කර නොගන්නා මෙන් ඉල්ලා සිටින එම සංගමය රටේ පවතින නීතියට අනුව එම කටයුතු කරන මෙන්ද ඉල්ලා සිටී.

“ඉඩමක් අත් පත් කර ගන්න නීතියෙන් තියෙනවා ප්‍රතිපාදන. ඒ අනුව කටයුතු කරනවාට අපේ විරුද්ධත්වයක් නැහැ. මේක කරන්නේ බලහත්කාරයෙන්. ඒක පටන් ගත්තේ උතුරෙන්. දැන් දකුණටත් ඇවිල්ල. දැන් තමයි දකුණේ ජනතාවටත් තේරෙන්නේ උතුරේ උනේ මොකක්ද කියල.” නීතිවේදී ලාල් විජේනායක පැවසීය.

මාධ්‍ය ආයතන වලට බලපෑම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු බලයක් නොමැති බවත් අන්තර් ජාතික දර්ශක වලට අනුව ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස අතින් දැඩි පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක මෙවැනි ක්‍රියා තුළින් තව දුරත් රට අපකීර්තියට පත් වන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දුන්නේය.

ඉහත චෝදනා පිළිබඳ ව නාගරික සංවර්ධන අධිකාරියේ හා TNL රූපවාහිනී සේවයේ වගකිවයුතු බලධාරියකුගේ අදහස් විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර