ෆේස්බුක් තහනම් කිරීමේ සැලසුමක් - එජාප

  • 2014 පෙබරවාරි 21
Image caption 'ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති වේය කියල අභියෝගය එතුමන්ට දැනිල තියෙනවා'

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂය (එජාප) ආණ්ඩුවට චෝදනා කරයි.

අහඹු ලෙස සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් පාදක කරගනිමින් නිදහසේ තොරතුරු බෙදා ගත හැකි ෆේස්බුක් ජාලය ශ්‍රී ලංකාවේ අවහිර කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි, එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසන්නේ.

"ෆේස්බුක් ජාලය ආණ්ඩුවට තිබෙන ලොකු ප්‍රශ්නයක්, අති බහුතරයක් ආණ්ඩුව විවේචනය කරන පණිවිඩ තමයි ෆේස්බුක් එක හරහා යන්නේ. ඒ නිසා ආණ්ඩුවේ උත්සාහය මේ ෆේස්බුක් එකත් වෙන ප්‍රශ්න මවාපාලා නවත්තල දාන්න," යනුවෙන් ඔහු කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින්.

අරාබි වසන්තය

අනිකුත් මාධ්‍ය මර්දනය කළ ආකාරයට ෆේස්බුක් ජාලයද මර්දනය කිරීමට ආණ්ඩුව දිගු කලක් මුළුල්ලේ උත්සාහ කරමින් සිටි බව පවසන මන්ත්‍රීවරයා, දැරියන් දෙදෙනකු සිය දිවි නසාගැනීම පාදක කරගනිමින් දැන් එම මර්දනය ආරම්භ කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව පවසයි.

Image copyright 33000lk.com
Image caption විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වෙබ් අඩවිය 'අවහිර කරලා'

"ගහකට මුවා වෙලා වෙඩි තිබ්බ කියල ගහ කපල දාන්නෙ නැහැ. වෙඩි තියපු එකා අල්ල ගන්නවා මිසක් ඒ ගහ කපල දාල හරියන්නේ නැහැ. මේ බොරු බොරු ප්‍රශ්න මවාපාලා තොරතුරු දැන ගැනීමේ ජනතාවගේ අයිතිය නැති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා," බවද මන්ත්‍රීවරයා පැවසීය.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලයන් හේතුවෙන් ඇතිවිය හැකි සමාජීය ගැට‍ළු පිළිබඳව ජනාධිපතිවරයාද අදහස් දක්වා තිබෙන අතර, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද පවසා තිබේ.

ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා එවැනි ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ ෆේස්බුක් ජාලය මගින් ශ්‍රී ලංකාවේත් අරාබි වසන්තය වැනි ජනතා නැගිටීමක් සංවිධානය කිරීමේ හැකියාව පිළිබඳව ඔවුන් තුල පවතින බිය බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

'සමාජයීය ගැටළු'

"අරාබි වසන්තය වගේ කැළඹීමක් නැත්නම් ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති වේය කියල අභියෝගය එතුමන්ට දැනිල තියෙනවා ඒකයි මේක තහනම් කරන්න උත්සාහ කරන්නේ."

ආණ්ඩුව විවේචනය කරමින් ජනතාවට නිසි තොරතුරු ලබා දුන් 33000 නම් වෙබ් අඩවියක්ද බ්‍රහස්පතින්දා සිට තහනම් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.

"තවත් හෙට අනිද්දට එවැනි වෙබ් ජාල නවත්වන්න තිබෙනවා."

33000 වෙබ් අඩවියට ශ්‍රී ලංකාවෙන් පිවිසීමට සංදේශය ගත් උත්සාහයද අසාර්ථක වූ අතර තම වෙබ් ලිපිනයට පිවිසීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අවහිර කර තිබෙන බවයි, වෙබ් අඩවිය පවසන්නේ.

එහෙත් නීතිමය නියෝගයකින් තොරව තමන් කිසිදු වෙබ් අඩවියක් තහනම් නොකරන බවයි, විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

මේ අතර එජාපයේ සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ ෆේස්බුක් හේතුවෙන් ඇති වී තිබෙන සමාජයීය ගැට‍ළු වැළැක්වීමට ගත හැකි පියවර පිළිබඳව සිය අවධානය යොමු වී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර