ෆේස්බුක් තහනම් කිරීමේ අදහසක් නෑ - ජනපති

  • 2014 පෙබරවාරි 25
Image copyright Reuters AFP
Image caption 'ළමයින් එය භාවිත කරන විට ඇතිවිය හැකි අන්තරාය ද ජනතාව තේරුම් ගනු දැකීම අවශ්‍යයි'

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ප්‍රචලිත කිරීමට හැම විටම ක්‍රියා කරන ආණ්ඩුවක් වශයෙන් ෆේස්බුක් හෝ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල ශ්‍රී ලංකාවේ තහනම් කිරීමේ කිසිදු අදහසක් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

සමාජ වෙබ් අඩවි සහ මාධ්‍ය ආරක්ෂා සහිත භාවිත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු විනා ඒවා තහනම් කිරීම සිය රජයේ අරමුණ නොවන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයක සඳහන් කරයි.

"සමාජ වෙබ් අඩවි/මාධ්‍යයේ ප්‍රබල වාසි මෙන්ම විශේෂයෙන් ළමයින් එය භාවිත කරන විට ඇතිවිය හැකි අන්තරාය ද ජනතාව තේරුම් ගනු දැකීම අපට අවශ්‍යයි," යනුවෙන්ද කොටස් හතරකින් යුක්තව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයේ දැක්වේ.

'අන්තරාය'

ෆේස්බුක් ජාලයේ පළ කළ ඡායාරූපයක් පිළිබඳව විදුහල්පතිවරයා විසින් අවවාද කරනු ලැබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දැරියක් සිය දිවි නසා ගැනීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාල භාවිතය පිළිබඳව යලිත් වරක් රට පුරා සංවාදයක් මතු වී තිබේ.

සමාජ ජාල දැනුවත්ව භාවිත කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයාද කිහිප වතාවක්ම පෙන්වා දී ඇති අතර, ෆේස්බුක් ජාලය තහනම් කළ යුතු යයි ළමා කටයුතු ඇමතිවරයා පවසා තිබිණ.

එහෙත් සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම භාෂණයේ නිදහසට වැට බැඳීමක් බව පවසමින් ජනමාධ්‍ය සංවිධාන සහ විරුද්ධ පක්ෂ එයට දැඩි විරෝධය පළ කළහ.

තරුණ පරපුර සිය දිවි නසා ගැනීම, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල හඳුන්වා දීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ පැවති තත්වයක් බව සමාජ විද්‍යාඥයෝ මේ අතර පෙන්වා දෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර