අද අපේ රටේ නීතිය රාජපක්ෂගේ කැමැත්ත - ජවිපෙ

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන එකම නිතිය ජනතිපති මහින්ද රාජපක්ෂගේ කැමැත්ත පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

ඉකුත්දා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ශ්‍රී ලංකාවේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමිනුයි ජවිපෙ නායකයා මෙම අදහස් පල කළේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය හා උතුරේ ප්‍රශ්නයට සිදු කෙරෙන ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වැනි කරුණු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මතය මෙහි දී ජවිපෙ නායකයා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් පැහැදිලි කළේය.

1987/88 වකවානුව

ශ්‍රී ලංකාවේ සිටින කිසිදු දේශපාලන ව්‍යාපාරයක් නැවත 1987/88 වකවානුවක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට සුදානම් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

" ඒකේදී අපිත් අත්දැකීම් ගත්තා, පාලක පක්ෂයත් අත්දැකීම් ගත්තා, ඒ වගේම මේ රටේ ජනතාවටත් මේ රටේ ඒ ඉතිහාසයේ ඛේදජනක අත්දැකීම් තිබෙනවා. ඒ නිසා මේ සමාජය හෝ දේශපාලන ව්‍යාපාර කිසිසේත් 87/88 මේ රටේ නිර්මාණය කරන්න සුදානම වනු ඇතැයි අපි විශ්වාස කරන්නේ නැහැ"

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැනි නායකයන්ට බලය අතහැර සිටිය හැකි බව පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නමුත් වර්තමාන ආණ්ඩුව කුඩා උද්ඝෝෂණ පවා පාලනය කිරීමට හැසිරුණු වියරු ආකාරය දෙස බලන විට ඔවුන් තම බලය රැක ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසුවේය.

" රතුපස්වල, හලාවත, කටුනායක තිබ්බේ ආණ්ඩු පෙරළන උද්ඝෝෂණ නොවෙයි. සාධාරණ ඉල්ලීම් දින ගන්නා උද්ඝෝෂණ, නමුත් ඒවාට ඔවුන් හැසිරුණු වියරු ආකාරය අපි දැක්කා, ඒ නිසා තමන්ගේ බලයට කුඩා හෝ තර්ජනයක් එල්ලවන ඕනෑම මොහොතක මේ ආණ්ඩුව ඉතාමත් නරක දිසාවට තල්ලුවන ආකාරය අපි දැක්ක"

ජනමාධ්‍ය වලට ප්‍රහාර

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවතින්නේ ජනමාධ්‍ය මත බව පැවසූ මන්ත්‍රීවරයා එය පවත්වා ගැනීම සදහා ජනමාධ්‍ය වලට ප්‍රහාර එල්ල කිරීම, මිල දී ගැනීම සහ වරප්‍රසාද ලබා දීම සිදු කරන බවයි ඔහු පැවසුවේ.

" රාජපක්ෂ යනු මාධ්‍ය විසින් ගොඩ නැගු ප්‍රබන්ධයක්, මේ ඇත්ත රාජපක්ෂ නෙමෙයි, එතකොට මේ රාජපක්ෂ ප්‍රබන්ධය පවත්වා ගැනිමට පහු ගිය කාලය පුරාවට මාධ්‍ය ආයතන ගණනාවකට පහර දුන්නා, මාධ්‍යවේදීන් ගණනාවකට පහර දුන්න"

ශ්‍රී ලංකාවේ සිදු වූ ආන්දෝලනාත්මක ඝාතන හෝ අපරාධවලට වරදකරුවන් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනමාධ්‍යවේදීන්ගේ ඝාතකයන් සොයා ගෙන නැත්තේ ඒවා සිදු කර ඇත්තේ ආණ්ඩුව නිසා බවයි විදේශ වාර්තාකරුවන් හමුවේ පැවසුවේ.

ශ්‍රි ලංකාවේ අධිකරණය ද මුළුමනින් ම රාජපක්ෂ පවුලට යටත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙහිදී පැවසුවේ අධිකරණ අමාත්‍යංශය යටතේ පැවතිය යුතු නීතිපති දෙපාර්තමේන්තුව පවා ජනතිපතිවරයා යටතේ ඇති බව පෙන්වා දෙමින්.

රටේ නීතිය

" අද අපේ රටේ නීතිය රාජපක්ෂගේ කැමැත්ත, ඔහු තමයි තීරණය කරන්නේ කවුද ඇතුළේ ඉන්න ඕනෑ, කවුද එළියේ ඉන්න ඕනෑ කියල, අසාත් සාලි ගේ අත් අඩංගුවට ගැණීම, ගත්ත විදිහත් වැරදියි, නිදහස් කරපු විදිහත් වැරදියි "

" නීතිපති දෙපාර්තමේන්තුව හරහා පහු ගිය කාලය පුරාවටම ආණ්ඩුවට හිතවත් අයගේ නඩු ඉල්ලා අස්කර ගැනීම හා එකඟ නොවන අයට නඩු පැවරීම සුලබ කටයුත්තක් වුනා", ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා තවදුරටත් පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඇඟිලි ගැසීමට උත්සාහ කරන බව පැවසූ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණු නායකයා එයට තම පක්ෂය විරුද්ධ බවයි විදෙස් මාධ්‍යවේදීන්ට පැවසුවේ. නමුත් මෙවන් තත්වයක් ඇතිවුයේ ආණ්ඩුවේ වරදින් බවයි ඔහු පෙන්වා දුන්නේ

" තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින්, මානව හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කොට තිබෙනවා, ඒ නිසා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමට ඇතුල්වීමට දොරටු විවෘත මේ ආණ්ඩුවේ තීරණ නිසා"

පළාත් සභා

දෙමළ භාෂාව කථා කරන ජනතාව, ඔවුන් දෙමළ ජාතිකයන් වීම හේතු කොටගෙන ම, ඔවුන්ට ශ්‍රී ලංකාවේ විශේෂ ගැට‍ළු ඇති බව තම පක්ෂය පිළිගන්නා බව පැවසූ ඔහු නමුත් තමන් බලය බෙදීමට විරුද්ධ බව ද පැවසුවේය.

" මේ පළාත් සභා අහෝසිකළ යුතුයි, මේ පළාත් සභා 9 ක් අපට වැඩක් නැහැ, නමුත් විශේෂ අනන්‍යතා සහිත ගැටළු ඇති ප්‍රදේශ තිබෙනවා, ඒ ගැටළු නිරීක්ෂණය කරලා ඒ ප්‍රදේශවල වෙනම බල ඒකක හැදෙන්න ඕනේ"

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ කටයුතු සිදු කරන ආකාරය ද දැඩි ලෙස විවේචන කල අතර ඔහු සිය සාකච්ඡාව අවසාන කළේ ජනතා විමුක්ති පෙරමුණ සමීප ලෙස අධ්‍යයනය කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ රට තුල ගොඩ නගා ඇති මත නිවැරදි නොවන බව මාධ්‍යවේදීන්ට ඒත්තු යනු ඇති බව පවසමින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර