සිරකරු මරණය 'දේශපාලන ඝාතනයක්'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බ්‍රිතාන්‍ය ජාතික දෙමළ රැඳවියකු කොළඹ මැගසින් බන්ධනාගාරය තුල මිය යාම සැක සහිත බව පවසන මානව හිමිකම් ක්‍රියාධරයෝ එය දේශපාලන ඝාතනයක් බවට චෝදනා කරති.

බන්ධනාගාරගතව සිටි විශ්වලිංගම් ගෝපිදාස්ගේ මරණය පිළිබඳව විරෝධය පළ කරමින් කොළඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුනු විරෝධතාකරුවෝ අනෙකුත් දේශපාලන සිරකරුවන්ද වහාම නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.

මින් පෙර කිහිප අවස්ථාවකම දේශපාලන සිරකරුවන් මේ අන්දමින් අබිරහස් ලෙස මියගිය බව උද්ඝෝෂණය සංවිධානය කළ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පෙන්වා දුන්නේය.

"මේ හිරගෙදර සිදු වුන පළවෙනි මරණය මේක නෙමෙයි. නිල්රුක්ෂන්, නිමලරූබන් මැරුණා. දැන් ගෝපිදාස් මැරුණා. ඊට පස්සේ තව කට්ටිය යවන්ඩ ඉන්නවා කියලා අපි දන්නවා," යනුවෙන්ද ඔහු පැවසීය.

"මේක සාමාන්‍ය මරණයක් නෙවෙයි, මේක දේශපාලන ඝාතනයක්."

නායකයන්ට 'රජ සැප'

ජනාධිපතිවරයා පත් කළ උගත් පාඩම් කොමිසම් වාර්තාවෙන් ඉල්ලා ඇති පරිදි දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය අවසන් කරන බවට රජය ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇතැයි පවසන මනෝ ගනේෂන් හිටපු මන්ත්‍රීවරයා, එහෙත් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවද පවසයි.

Image caption 'කිහිප දෙනෙක් වැලිකඩ ළඟ උද්ඝෝෂණය කළා කියල පහුවෙනිදා ඔක්කොම නිදහස් කරන්න බැහැ'

"කරුණාකරල මේ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය අවසන් කරගෙන ජිනීවා යන්න. එතකොට අපිත් එන්නම් ඕගොල්ලෝ එක්ක නැත්නම් අපිට විරුද්ධ වෙන්න වෙනවා," යනුවෙන්ද ඔහු පැවසීය.

මිය ගිය විශ්වලිංගම් ගෝපිදාස් ඔහුගේ දඬුවම් කාලය වන වසර පහකට වැඩි කලක් බන්ධනාගාරගතව සිට ඇති බව පවසන මනෝ ගනේෂන්, ගෝපිදාස් වැන්නන්ට අණදුන් එල්ටීටීඊ නායකයන් නිදහසේ සිටියදී අහිංසකයන් සිර කිරීම අසාධාරණ බවද සඳහන් කරයි.

"අණ දුන්න අය ආණ්ඩුව තුල රජ සැප විඳිනවා. යටත් වෙලා වැඩ කරපු අය ඇතුලේ ඉන්නවා නම් එක මහා අපරාධයක්."

විරෝධතාවයට එක්වූ එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය පැවසුවේ හතලිස් එක් හැවිරිදි පුද්ගලයකු හදිසියේ හෘදයාබාධයකින් මිය යාම පිළිගත නොහැකි බවයි.

'සම්ප්‍රදායයක්'

"අනිත් අයට දුන් පොදු සමාව මේ අයටත් දෙන්න. මේ විදිහට විශාල පිරිසක් බූස්ස කඳවුරේ, අනුරාධපුර, මන්නාරම මේ විදිහට ඉන්නවා," යනුවෙන්ද සිරිතුංග ජයසූරිය පැවසීය.

එහෙත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව අපහසුතාවයකට ලක් කිරීම මෙවැනි උද්ඝෝෂණවල අරමුණ බවයි, ආණ්ඩුව පවසන්නේ.

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් වයඹ පළාත් සභාවේ මහ ඇමති දයාසිරි ජයසේකර, දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වීම මාර්තු මාසය ලං වන විට සම්ප්‍රදායයක් බවට පත් වී තිබෙන බවයි.

"ආණ්ඩුව විදිහට තීන්දුවක් ගනීවි කොයි විදියටද මේක හැසිරවිය යුත්තේ කියලා. මනෝ ගනේෂන් මහත්තයා සහ තව කිහිප දෙනෙක් වැලිකඩ ළඟ උද්ගෝෂණය කළා කියල පහුවෙනිදා උදේ ඔක්කොම නිදහස් කරන්න බැහැ," යනුවෙන්ද ඔහු පැවසීය.

ඇතැම් එල්ටීටීඊ සැකකරුවන්ට ආණ්ඩුව නඩු පවරා ඇති බව පවසන මහ ඇමතිවරයා, ඔවුන් සියල්ල එකවර නිදහස් කරන්නේද, නොඑසේනම් නඩු සහ චෝදනා අනුව නිදහස් කරන්නේද යන්න ආණ්ඩුව ඉදිරියේ තීරණය කරනු ඇතැයිද පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර