ජනාධිපති නමින් යැවූ SMS ගැන විභාගයක්

Image copyright AFP

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නමින් අපහාසාත්මක SMS කෙටි පණිවුඩ යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියම කළේය.

අධිකරණය එම නියෝගය කරණ ලද්දේ, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය මගින් ඉදිරිපත් කළ වාර්තාවක් පරික්ෂා කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ජනවාරි මස පළමු වැනිදා ජනාධිපතිවරයාගේ නම සඳහන් අපහාසාත්මක SMS සුබ පැතුම් පණිවුඩ පුද්ගලික මාධ්‍ය ආයතනයක කාර්ය මණ්ඩලය වෙත යවා ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

ජංගම දුරකථන අංක තුනක් ඔස්සේ එම SMS පණිවුඩ යොමු කර ඇතැයි සඳහන් කළ පොලිසිය ඉදිරි පරීක්ෂණ සඳහා ඊට අදාළ විස්තර ලබා ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.

පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත් අධිකරණය අදාළ දුරකථන අංකවල හිමිකරුවන් සහ ඊට අදාළ විස්තර පොලිසිය වෙත ලබා දෙන මෙන් දුරකථන සමාගම් වලට නියම කළේය.

මේ අතර, අපරාධ නඩු පිළිබඳ නීතිඥ බණ්ඩාර ඒකනායක පවසන්නේ, SMS පණිවුඩ ඔස්සේ සිදු කරන වැරදි ක්‍රියා අපරාධමය වරදක් ලෙස ශ්‍රී ලංකාවේ නීතිය මගින් පිළිගෙන ඇති බවයි.