ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ජිනීවා යෝජනාවේ අරමුණ රට අස්ථාවර කිරීම'

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යෝජනාවක් ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය නැති කිරීමට බව රජය ප්‍රකාශ කරයි.

බටහිර රටවල් මේ සඳහා දරන උත්සාහයට විපක්ෂයේ ද සහාය හිමි වී තිබෙන බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ.

'නැවත තුවක්කු'

පුනරුත්තාපනය කළ එල්ටීටීඊ සාමාජිකයන් අතට නැවත තුවක්කු ලබා දී රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම ඇතැම් දේශීය හා විදේශීය බලවේගවල බලාපොරොත්තුව බව අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.

" දේශපාලන ස්ථාවරභාවය නැති වුණාම කට්ටිය ඇන කොටා ගන්නවා. සාමය නැති වෙනවා, 12,000ක් අපි පුනරුත්තාපනය කරලා යවල තියෙනවනේ. ඕන වෙලාවක තුවක්කුවක් අරගෙන ඕන එකක් කර හැකි, එතකොට අර කට්ටියට කරන්න තියෙන්නේ ලිබියාවේ කරා වගේ ඉරාකයේ කරා වගේ ආයුධ ටිකක් හොරෙන් දෙන එක" අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නව නීදන් පිල්ලේ කර ඇති ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කළ බලපෑමක් ලෙසටයි අමාත්‍යවරයා හැඳින්වුයේ.