ජාත්‍යන්තර ප්‍රජාව වගකීම් 'පැහැර හැරලා'

  • 2014 මාර්තු 4
Image caption ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව බ්‍රිතාන්‍යවාසී දෙමළ ජනතාව බොහෝ උද්ඝෝෂණවල යෙදුනහ

ශ්‍රී ලංකා රජයට විරුද්ධව එල්ල වන මානව හිමිකම් කඩවීම් චෝදනා පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීමට අපොහොසත් වීම මගින් ජාත්‍යන්තර ප්‍රජාව සිය වගකීම් පැහැර හැර ඇති බව බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසයි.

යුද සමයේ දී සිදු වූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වෙනු දැකීම දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව බවද සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රාජ් කුමාර් බීබීසී සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකා රජයට විරුද්ධව එල්ල වන චෝදනා ගෙන විමර්ශනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජයට ම පැවරීම පිළිගත නොහැකි පිළිවෙතක් ලෙසිනුයි, ඔහු විග්‍රහ කරන්නේ.

ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටින බව පැවසූ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය යුතුකම්වලින් බැහැර වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

යුද්ධය අවසන් වී වසර පහක් ගත වෙද්දීත් කඩවුණු මානව හිමිකම් පිළිබඳ විමර්ශනයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අපොහොසත් වී තිබෙන බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

එබැවින් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම පිණිස ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ක්‍රියා කළ යුතු බවයි, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය අවධාරණය කරන්නේ.