ජිනීවා යෝජනාවේ අරමුණ විකල්ප ආණ්ඩුවක් - ටීඑන්ඒ

Image caption 'දැන් මේ රටේ ආණ්ඩුවට ඔන්න එනවා විදුලි පුටුව කියලා ජනතාව රවට්ටලා ඡන්දය ගන්න අවස්ථාවක් දීල නැහැ'

ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා නොසිටින්නේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ විකල්ප ආණ්ඩුවක් බලාපොරොත්තු වන නිසා විය හැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

සන්ධානයේ ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් එම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

"ජාත්‍යන්තර විමර්ශන යෝජනාවක් ගෙන ආවොත් එයට එල්ල වන සිංහල ජනතාවගේ විරෝධය, ආණ්ඩුවට වාසි දායක විය හැකි නිසා ඔවුන් එය ඉදිරිපත් කර නොතිබෙනවා විය හැකියි," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

දැනට ප්‍රකාශයට පත්ව තිබෙන යෝජනා කෙටුම්පතේ ඇතුලත් දකුණේ වැලිවේරිය ගැටුම, අගවිනුසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඇතුළු කරුණු සලකා බලන විට දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කොට එමගින් විකල්ප ආණ්ඩුවක් ඇති කිරීම මෙම යෝජනාවේ තවත් අරමුණක් විය හැකි බවද "බලය බෙදා රට එක්සේසත් කරමු" සංවිධානයේ මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේය.

'බලාපොරොත්තු කඩ කළා'

මෙම යෝජිත කෙටුම්පතෙහි පිඩාවට පත් දෙමළ ජනතාව මුහුණදෙන කිසිදු ගැටලුවක් අඩංගු නොවන බව පවසන ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා, මෙම යෝජනාවෙන් තමන්ට සාධාරණයක් ඉටු වනු ඇතැයි අතුරුදහන් වූවන්ගේ සහ යුද්ධයෙන් මිය ගිය අයගේ ඥාතීන් බලාපොරොත්තුවෙන් සිටි බවද පැවසීය.

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වසර පහක් කිසිදු පරීක්ෂණයක් නොකළ ආණ්ඩුවකට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම පිණිස තවත් වසරක් ලබා දීමෙන් අරමුණ කවරක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළේය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතා ප්‍රශ්නවලට ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් පමණක් විසඳුම් බලාපොරොත්තු විය නොහැකි බව මාධ්‍ය හමුව අමතමින් කියා සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ඒ සඳහා සිංහල, දෙමළ සියලු දෙනා එක්ව පොදු අරගලයක් කළ යුතු බව කියා සිටියේය.

විදුලි පුටුව

"අපි බලාපොරොත්තුවූ විදිහට, ලංකා ආණ්ඩුව බලාපොරොත්තුවූ විදිහට සැර යෝජනාවක් ආපු නැති නිසා, උතුරේ හා දකුණේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට එක්සත් පොදු අරගලයකට අපි යොමු වෙන්න ඕනේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානයට එක් දෙයකුත් රජයට තවත් දෙයකුත් පවසා ඇමෙරිකාවට ගොස් වෙනමම දෙයක් සිදුකර ඇති බවද මනෝ ගනේෂන් පැවසීය.

"දැන් මේ රටේ ආණ්ඩුවට ඔන්න එනවා විදුලි පුටුව කියලා ජනතාව රවට්ටලා ඡන්දය ගන්න අවස්ථාවක් ඇමරිකානු ආණ්ඩුව දීල නැහැ."

ශ්‍රී ලංකාවේ බලය බෙදා රට එක් සේසත් කළ හැක්කේ දේශීය සටනකින් පමණක් බවයි, මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර