යෝජනාව සියලු ලාංකිකයන් වෙනුවෙන් - මුරුසිය

  • 9 මාර්තු 2014
'මානව හිමිකම් ආරක්ෂා කිරීම, සංහිඳියාව ඇති කිරීම වැනි බොහෝ දේ කළ යුතුව තිබෙනවා'

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සම අනුග්‍රහය දැක්වූයේ සියලු ශ්‍රී ලංකාවාසීන්ගේ මානව හිමිකම් සුරැකීමේ අරමුණින් බව මුරුසි දිවයින පවසයි.

එම යෝජනාවට අනුග්‍රහය දක්වන මෙන් කිසිවෙකුත් බලපෑම් නොකළ බවද මුරුසි දිවයිනේ විදේශ අමාත්‍ය අර්වින් බූලෙල් බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධයෙන් යලිත් පූර්ණ විමර්ශනයක් කොට ලබන වසරේ මාර්තු මාසයේදී මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, මොන්ටිනීග්‍රෝව, මැසිඩෝනියාව සහ මුරුසි දූපතේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීමට යෝජිත මූලික කෙටුම්පතේ දැක්වෙයි.

මුරුසි දූපත යෝජනාවට අනුග්‍රහය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් කණස්සල්ල පළ කළ බව ජනමාධ්‍ය වාර්තා කොට තිබිණ.

'සාධනීය පියවර'

"ඇතැම් සාධනීය පියවර අර ගෙන තිබෙන බව අපි පැහැදිලිවම පිළි ගන්නවා. නමුත් තවත් බොහෝ දේ කරන්න තිබෙන බව තමයි යතාර්ථය," යනුවෙන්ද විදේශ අමාත්‍ය විදේශ අමාත්‍ය අර්වින් බූලෙල් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 'ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි'

"රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, සංහිඳියාව ඇති කිරීම වගේම සුළු ජාතීන් ඇතුළු රටේ සියලුම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේ අංශවල බොහෝ දේ කළ යුතුව තිබෙනවා."

යෝජනා කෙටුම්පත ඉදිරියේදී සංශෝධනය විය හැකි බවද මුරුසි දිවයිනේ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කළ මුරුසි දූපත, 2015 දී රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමද ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඇම්නස්ටි ජාත්‍යන්තරය මේ අතර යලිත් වරක් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ වෙත පෙරේදා ලිපියක් යොමු කරමිනුයි, ඇම්නස්ටි ජාත්‍යන්තරය එම ඉල්ලීම කරන්නේ.

කෙසේ නමුත් ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත මූලික කෙටුම්පතේ ජාත්‍යන්තර පරීෂණයක් පිළිබඳව සඳහනක් නැහැ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර