'චැනල් ෆෝර්' රූපවාහිනියෙන් තවත් චිත්‍රපටයක්

  • 10 මාර්තු 2014
Image copyright www.channel4.com
Image caption 'No Fire Zone' චැනල් ෆෝර් චිත්‍රපටයේ දර්ශනයක්

චැනල් ෆෝර් බ්‍රිතාන්‍ය රූපවාහිනිය විසින් ඉරිදා රාත්‍රියේ විකාශනය කරන ලද ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් වසර කීපය ඇතුළත සිදු විනැයි පැවසෙන දර්ශන රැගත් අලුත් ම වාර්තා චිත්‍රපටය බැහැර කරන යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ,ජිනීවා මානව හිමිකම් කොමිසම රැස් වෙත්ම එවැනි නිර්මාණ නිකුත් කෙරෙන බව කියා සිටියි.

එහෙත් චිත්‍රපටයට ඇතුළත් කොට ඇති දර්ශන කවදා කොතැනක වීඩියෝ ගත කරනු ලැබ ඇද්දැයි තමන් හරියටම නොදන්නා නමුත් ඒවා යුද්ධයේ අන්තිම අවුරුදු දෙක හෝ තුන ඇතුළත වීඩියෝ ගත කරන ලද ඒවා වන බවයි චැනල් ෆෝර් වාර්තාමය චිත්‍රපටයේ නිර්මාතෘවරු පවසන්නේ.

කොටි කැරලිකරුවන්ගේ මරණ හමුවේ සිනා වෙමින් ප්‍රීතිය පළ කරමින් සිටින්නන්ගේ නිල ඇඳුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් විශේෂ හමුදා කණ්ඩයකට අයත් විය හැකි බවත් ඔවුහු කියා සිටිති.

විකාරරූපී හැසිරීම්

අසභ්‍ය වචන පවසන පුද්ගලයන් සහිත රූප රාමු ද ඇතුළත් වාර්තා චිත්‍රපටය මගින් ඉස්මතු කෙරෙන්නේ එම සන්නද්ධ කණ්ඩායම ඔවුන් විසින් මරා දමනු ලැබුණ එල්.ටී.ටී.ඊ කැරලිකරුවන්ගේ මළ සිරුරු අබියස විකාර රූපී ආකාරයෙන් හැසිරෙන බවකි.

Image copyright pccsl.lk
Image caption ශ්‍රී ලංකා යුද හමු දා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිග සූරිය.

තවත් දර්ශන කීපයක දැක්වෙන්නේ මරා දැමුණ කොටි කැරලිකරුවන්,කැරලිකාරියන් ගේ මල සිරුරු ලිංගික අපහරණයට ලක් කරන ආකාරයයි.

චිත්‍රපටය විකාශනය කරනු ලැබීමට පෙර ඒ සම්බන්ධයෙන් හැඳින්වීමක් කරමින් චැනල් ෆෝර් මාධ්‍යවේදියෙක් කියා සිටියේ මරා දැමුණ එල්.ටී.ටී.ඊ සෙබලියන් අපචාරයට ලක් කෙරෙන ආකාරය ජංගම දුරකථන වලින් පටි ගත කරනු ලැබ ඇති දර්ශන රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම පවා බලවත් කම්පාවක් වන බවයි.

විද්‍යාඥයන්ගේ තක්සේරුව

සිය අලුත්ම වාර්තාමය චිත්‍රපටයට ඇතුළත් ජංගම දුරකථන වලින් පටිගත කෙරුණ දර්ශන ඩිජිටල් තාක්ෂනය පිලිබඳ විශේෂඥයන් මෙන්ම මුල් පෙලේ අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන දොස්තර රිචර්ඩ් ෂෙපර්ඩ් විසින් පරීක්ෂා කරනු ලැබුණ බවයි චිත්‍රපටයේ නිර්මාතෘ කැලම් මැක්රේ පවසන්නේ.

“ තුවාල දෙස බලන විට පේන්නේ ඒවා ඇත්ත දේවල් බව. එම රුපරාමු වලට ඇතුළත් දර්ශන ව්‍යාජ ඒවා නොවන බවයි පේන්නේ. සමස්ත තුවාල සිද්ධ වෙච්ච රටාව බැලුවම, ඒවා ඝාතන විය හැකි බවට ඇති ඉඩකඩ මට බැහැර කරන්න බැහැ.” දොස්තර රිචර්ඩ් ෂෙපර්ඩ් පවසයි.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

Image caption චැනල් ෆෝර් මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ මහජන උද්ඝෝෂණයක්

දෙමල ඩයස්පෝරාව විසින් චැනල් ෆෝර් රූපවාහිනියට සපයා ඇති දර්ශන ඇතුලත් වාර්තාමය චිත්‍රපටය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයකින් දැක්වෙන්නේ එය “ශ්‍රී ලංකාව අවමානයට පත් කිරීමේ චැනල් ෆෝර් දූෂිත මාධ්‍යකරණයේ තවත් දිගුවක්”වන බව.

චැනල් ෆෝර් රූපවාහිනිය මගින් මින් පෙර ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට අදාළ සෙසු වාර්තාමය චිත්‍රපට මෙන්ම මෙම අලුත් චිත්‍රපටයේත් දැක්වෙන සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් දෙමල ඩයස්පෝරාවේ සහ මානව හිමිකම් සංවිධානවල ඇඟිල්ල දිගු වෙන්නේ ශ්‍රී ලංකාවේ යුද හමුදාව දෙසට.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර