'ජිනීවා ජාත්‍යන්තර විමර්ශනයක් තමයි'

  • 10 මාර්තු 2014
Image copyright AFP Getty Images
Image caption දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන්

එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනා කෙටුම්පත තවත් ශක්තිමත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

කෙසේ නමුත් දැනට ඉදිරිපත්ව තිබෙන කෙටුම්පතට ද තම පක්ෂයේ සහාය හිමි වන බව එහි නායක ආර් සම්බන්දන් බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමක දී කියා සිටියේය.

‘මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ අරමුණක් ඇතිව. අපේ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වෙලා තියෙන නිසා අපි ඒ අය දිරිමත් කළ යුතුයි. ඒ නිසා අපි ඒ යෝජනාවට සහාය දෙනවා.’ ආර් සම්බන්දන් කියා පැවසීය.

'ජාත්‍යන්තර විමර්ශනයක්'

කෙසේ නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයක් ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු ඇතැම් විරුද්ධ පක්ෂ ජිනීවා යෝජනාව විවේචනයක් කොට තිබෙන්නේ නොවේද යන්න සම්බන්දන් මන්ත්‍රීවරයාට යොමු කෙරුණු ප්‍රශ්නයක්.

‘ඒ යෝජනාව කියවල බලන්න. අභ්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ඒකෙ තියෙනවා. ඒක මහ කොමසාරිස්වරිය නිරීක්ෂණය කළ යුතු බවත් එහි තියෙනවා. ඒ වගේම මහ කොමසාරිස් වරියගේ විමර්ශනයක් පවත්වන්නත් ඉඩ සලසල තියෙනවා. එතුමිය පවත්වන විමර්ශනය ජාත්‍යන්තර විමර්ශනයක් නෙමෙයි නම් වෙන මොකක්ද?’ සම්බන්දන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එබැවින් මේ අවස්ථාවේ ඉතා ප්‍රවේශම් සහගතව කටයුතු කළ යුතු බවත් සම්බන්දන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර