දිනුදා වෙනුවට වෙන අලි පැටියෙක්

Image caption ශ්‍රී ලංකාවේ නිවසක සඟවා සිටි අලි පැටවකු මුදා ගත් අවස්ථාවක්.

අලි ඇතුන් ගෘහස්ථ කරණයට අමතරව ඔවුන් පිටරට පැටවීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වෙමින් ඇතැයි ජෛව සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ පුබුදු වීර රත්න පෙන්වා දෙයි.

'දිනුදා'අලි පැටියා දකුණු කොරියාවට යැවීමේ සැලැස්මක් ජනාධිපතිවරයාගේ නියමයෙන් නතර කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුබුදු වීරරත්න කියා සිටියේ, එම අලි පැටියාගේ ගමන නතර කිරීම සතුටට කරුණක් නමුත් උපන් දිනය හෝ නම සැලකිල්ලට ගනිමින් එම පියවර ගෙන ඇති අතර පරිසර වේදියෙක් හැටියට තමාට හැම අලි පැටියකුම සමාන බවයි.

පසුගිය අවධියේ චීනය, ජපානය සහ යුරෝපයේ රටවලට අලි පැටවුන් යවා ඇති බවයි, ජෛව සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ පුබුදු වීර රත්න වැඩි දුරටත් පවසන්නේ.

අලින් සමඟ ගුවන් ගමන්

සතුන් විදේශ ගත කිරීමේ සැලැස්ම තුලින් ඇතැම් පුද්ගලයන් ද විදේශ සංචාර සඳහා ගුවන් ගත වන බවයි පරිසරවේදියා පෙන්වා දෙන්නේ.

එක ම විදේශ සත්ව උද්‍යානයට ශ්‍රී ලංකා අලි පැටවුන් කීප දෙනා බැගින් සපයා ඇති බවක් අනාවරණය වී ඇති බවත් පුබුදු වීරරත්න පවසයි.

Image copyright BBC World Service
Image caption පින්නවල අනාථ අලි පැටව්.

“වයස අවුරුදු පහට අඩු කිරි බොන අලි පැටවුන් පිටරට පැටවීම තහනම් කරපු අධිකරණ නියෝගයකුත් තියෙනවා. අලියා අද අපේ රටේ වඳ වී යාමේ අනතුරට මුහුණ දී සිටින ජීවියෙක්.” යයි ද ජෛව සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ පුබුදු වීර රත්න සිහිපත් කරයි.

ශ්‍රී ලංකාව අලි ඇතුන් ආරක්‍ෂා කර ගත යුතුව ඇති මෙවැනි කාලයක එම සතුන් පිටරට පැටවීම තරයේ හෙලා දකින බව ජාත්‍යන්තර සත්ව ශුභ සාධන භාරයේ සභාපතිනි අයිරාංගනී ද සිල්වා පවසන්නීය.

කැලේ සතුන් අයිති කැලේට

බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ බලධාරීන් අලි ඇතුන්ගේ වටිනාකම වටහා නො ගැනීම කනගාටුවට කරුණක් වන බවයි.

පින්නවල අලි අනාථාගාරයේ සිටින ‘දිනුදා’ සහ ‘උදාර’ යන අලි පැටවුන් දෙදෙනා දකුණු කොරියාවේ පෞද්ගලික සත්ව උද්‍යානයකට යැවීමට කටයුතු කෙරෙමින් තිබුණ අතර පරිසර සංවිධානවල උද්ඝෝෂණ හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එය නතර කළ බව විශේෂ ව්‍යාපෘති භාර ඇමති එස්.එම්.චන්ද්‍රසේන පවසයි.

එහෙත් උද්භිද උද්‍යාන සහ විනෝදාත්මක කටයුතු භාර අමාත්‍යංශයේ ලේකම් විලී ගමගේ පවසන්නේ 'දිනුදා' සහ 'උදාර' වෙනුවට ඉදිරි දිනයක වෙනත් අලි පැටවුන් දෙදෙනකු දකුණු කොරියාවට යවන බවයි.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වඳ වීමට හේතුව පිට රට යැවීම නොව මිනිස් ක්‍රියාකාරකම් වන බවයි ලේකම්වරයාගේ අදහස වන්නේ.