පොලිසියේ අසත්‍ය ප්‍රකාශ ගැන පරීක්ෂණයක්

Image caption මන්දනා ස්මයිල් මාධ්‍ය හමුවක..

‘සන්ඩේ ලීඩර්’ මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් අධිකරණය මග හරිමින් සිටින බවට අසත්‍ය තොරතුරු සැපයූ පොලිස් නිලධාරියා පිළිබඳ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් මාධ්‍යවේදිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා කියා සිටියේ, සිය සේවා දායිකාව අධිකරණය මග හරිමින් සිටින බවට පොලිසිය අධිකරණය හමුවේ කළ දැනුම් දීමක් ජාතික පුවත්පත් ගණනාවක පළ කර තිබුණ අතර එය අසත්‍ය පුවතක් වන බවයි.

තව දුරටත් කරුණු දැක්වූ නීතිවේදියා සිය සේවා දායිකාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කෙරුණේ, මාර්තු පස් වෙනි දින බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

එසේ තිබියදී, පැමිණිලිකාරිය වන මන්දනා ස්මයිල් අධිකරණය මග හරින බවට පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම අසාධාරණයක් වන අතර අධිකරණය නොමග හැරීමේ අරමුණින් පොලිසිය එවැනි දේ කරන බවටයි නීතිවේදියා චෝදනා කරන්නේ.

අධිකරණය නොමග යවනවා

එබැවින් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන මෙන් ද මන්දනා ස්මයිල් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

පොලිසිය කියා සිටියේ නීතිවේදියාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

දෙපාර්ශ්වයට ම සවන් දුන් මහේස්ත්‍රාත් මොහොමඩ් සහාබ්දින් ප්‍රකාශ කළේ පොලිසිය ඉහත කී ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම මගින් අගතියට පත් මාධ්‍යවේදිනියට අසාධාරණයක් සිදු වී ඇති බවයි.

එබැවින් අදාළ පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ ව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.

අනතුරුව මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් සාක්ෂි දෙමින් කියා සිටියේ, මෙම නඩුවට අදාළ දිනයේ සිය නිවසට ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් තමන්ට මරණ තර්ජන එල්ල කරමින් නිවසේ තිබුණ සියලු ලිපි ගොනු පරික්ෂා කළ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර