ශ්‍රී ලංකාවේ ප්‍රථම බන්ධනාගාර පාසල

  • 2014 මාර්තු 16
Image caption මුල්ම පාසල පවත්වාගෙන යන්නේ සිංහල මාධ්‍යයෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රථම බන්ධනාගාර පාසල හෝමාගම වටරැක බන්ධනාගාරයේදී නේවාසික පහසුකම් සහිතව ළඟදීම විවෘත කෙරෙන බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයත් බන්ධනාගාර අමාත්‍යාංශයත් එක්ව ක්‍රියාත්මක වන මෙම පාසැල ලබන 21 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කිරීමට නියමිත බවයි, ඔවුන් පවසන්නේ.

යම් අපරාධයක් හේතුවෙන් සිරකරුවෙකුගේ අධ්‍යාපනය අතර මග අත් හිටුවී ඇත්නම් ඔහුට සිය අධ්‍යයාපනය තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩකඩ සලසාදීම මෙහි අරමුණ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ජීඑස් විතානගේ බීබීසී සංදේශයට කියා සිටියේය.

කොරියානු භාෂාව

වයස 16 ත් 30 ත් අතර රැඳවියන් අතරින් අධ්‍යාපනය ලැබීමට කැමති ඇය කැඳවා විභාගයකින් සුදුස්සන් තෝරා ගැනෙන බව පවසන ඔහු, අට වැනි පන්තියේ සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබාදීමට අපේක්ෂා කරන බවද ශාන්ති සෙල්වදොරේ කළ විමසීමකදී සඳහන් කළේය.

රජයේ පාසලේ මෙන් නිල ඇඳුම්, පාසල් පොත්, ආචාර්යවරුන් ඇතුළු සම්පත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ඇති බව ද පාසැල් පරිපාලනයේ වගකීම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දරන අතර පාසලට විනයානුකූලව රැඳවියන් යැවීමේ වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව දරන බවද ඔහු ප්‍රකාශ කරයි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලට අමතරව කොරියානු භාෂා දැනුම ලබාදීමට තීරණයක් ඇති බවද පවසන අමාත්‍යංශයේ ලේකම්වරයා, මෙම පාසැල සිංහල මාධ්‍යයෙන් පවත්වාගෙන යන්නක් වුවත් අනාගතයේදී රැඳවියන් වෙනුවෙන් දෙමළ මාධ්‍ය පාසලක් උතුරු හෝ නැගෙනහිර පළාතේ ආරම්භ කිරීමේ ඉඩ කඩ පවතින බවද වැඩි දුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර