මහේසන් පියතුමා සහ රුකී නිදහස්

Image caption මෙම අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාව තුළ හා විදේශයන් හි තද බල විවේචනයට ලක්වී තිබිණි

ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ඉරිදා අත් අඩංගුවට ගත් මානව හිමිකම් පිලිබඳ ක්‍රියාධරයන් දෙදෙනා නිදහස් කර තිබේ.

කතෝලික පියතුමෙකු වන ප්‍රවීන් මහේසන් සහ රුකී ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාව තුළ හා විදේශයන් හි තද බල විවේචනයට ලක්වී තිබිණි.

බලධාරීන් පවසා තිබුණේ වාර්ගික සමගියට හානිකර කටයුතු වල යෙදීම පිළිබඳව සැකපිට ඔවුන් අත් අඩංගුවට ගෙන සිටි බවයි.

ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම අතුරුදහන් වුවන්ගේ පවුල් සමග කටයුතු කරමින් සිටි අය බවයි පැවසෙන්නේ.

2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් බෙදුම් වාදී දෙමළ කොටි සංවිධානය පරාජය කෙරිණි.

එම යුද්ධයේ අවසන් අදියරේ දී සාමාන්‍ය ජනතාව විශාල සංඛ්‍යාවක් මියගිය බවට චෝදනා මතුවුයේ ඉන් පසුවයි.

අධිකරණයේ නියමයක්

ප්‍රදේශයේ ජනතා ව නියෝජනය කරමින් බී බී සී යට කතා කළ පිරිස් සහ පොලීසිය විසින් සනාථ කළේ අඟහරුවාදා රාත්‍රියේ ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම නිදහස් කර ඇත්තේ අධිකරණය මගින් එලෙස නිදහස් කිරීමට නියම කිරීමෙන් පසු බවයි.

වාර්ගික සමගියට හානිකර කටයුතු වල යෙදීම පිළිබඳව සැකපිට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා පැය හතලිස් අටක කාලයක් රඳවාගෙන සිටි බවයි බලධාරීන් පවසන්නේ.

එහෙත් ඔවුන් දෙදෙනා වෙනුවෙන් සහය දක්වන පිරිස් පවසන්නේ මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම මානව හිමිකම් ක්‍රියාධරයින් බවයි.

පසුගිය සතිය තුලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ ක්‍රියාධරයන් කිහිප දෙනෙකුම රඳවා තබා ගෙන සිටීම පිළිබඳව ඇමරිකාව දැඩි අවධානයක් යොමුකොට තිබුණි.

මේ අතර බ්‍රහස්පතින්දා අත් අඩංගුවට පත් දේශපාලන අතුරුදහන්වීම වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලචන්ද්‍රන් තවමත් අත් අඩංගුවේ පසුවන්නීය.

උතුරේ යුද්ධය නිමාවීමෙන් පසු ඇගේ පුත්‍රයා අතුරුදහන් වූ අතර ජයකුමාරි සහ ඇගේ දියණිය අතුරුදහන්වීම් පිලිබඳ ක්‍රියාධාරිනියන් ලෙස කටයුතු කරමින් සිටියහ.

එහෙත් ශ්‍රී ලංකා රජය චෝදනා කරන්නේ දෙමළ කොටි සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන පුද්ගලයෙකුට ඇය නවාතැන් දී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර