ජනපති ‘ජන හමුවට’එකඟ නැහැ-මැතිවරණ කොමසාරිස්

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය
Image caption මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

මැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රදේශවල ජනතා ගැටළු විසඳීමට මැදිහත්වීම පිළිබඳව තමන් එකඟ නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටී.

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද සූදානම පිළිබඳව අද (බ්‍රහස්පතින්දා) පෙරවරුවේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා එසේ කියා සිටියේය.

‘ජනපති ජන හමුව’ නමින් පසුගිය හත්වනදා ජනාධිපතිවරයා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතා ගැටළු විසඳීමේ වැඩසටහනක් පැවැත්වීම ගැන තමන් එකග නොවන අතර ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළ බවයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.

" මම ඒක බැලුවේ නැති නිසා මට සෘජුවම කියන්න බැහැ, යම් පාර්ශවයකට අගතියක් වුනාද, ප්‍රවර්ධනයක් වුනාද කියලා. නමුත් මම දන්නල තියෙනවා; අදාළ බලධාරීන්ට එවැනි දේවල් ඡන්ද විමසන දිස්ත්‍රික්කවල පැවැත්වීමට අපේ එකඟ තාවයක් නැහැ කියලා, ඒක ඔවුන් පිළි අරගෙන තිබෙනවා" යැයි බීබීසී සංදේශයේ අසාම් අමීන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර පළ කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේය.

මාධ්‍ය පක්‍ෂග්‍රාහිත්වය

වර්තමානයේ ජන මාධ්‍ය දේශපාලන පක්ෂපාතීත්වය අනුව බෙදී ඇති හෙයින් ඒවා රජයේ හෝ පෞද්ගලික යැයි වෙන් කොට හඳුනා ගැනීම දුෂ්කර වී ඇති බවයි ඔහු කියා සිටියේ.

රාජ්‍ය මාධ්‍ය පමණක් අනිවාර්යයෙන් පාලනය කළ යුතුය යන මතයෙන් බැහැර වී සියළු දේශපාලන පක්ෂවලට සම අවස්ථා ලබා දීමට කටයතු කරන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍ය නාලිකා වලින් ඉල්ලීමක් ද කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර