මහේසන් පියතුමාට සහ රුකී ප්‍රනාන්දුට මාධ්‍යයට කථා කිරීම තහනම්

අත් අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු වන ප්‍රවීන් මහේසන් පියතුමාට සහ රුකී ප්‍රනාන්දු ට ජන මාධ්‍යයට කථා නොකරන ලෙසට බලධාරීන් විසින් උපදෙස් දී තිබේ.

ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් භාවිත කරන පරිගණක ද අත් අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බවයි බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ප්‍රකාශ කළේ.

ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඉරිදා අත් අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොන්දේසි රහිතව නිදහස් කරනු ලැබූහ.

අත් අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු වන ප්‍රවීන් මහේසන් පියතුමාට සහ රුකී ප්‍රනාන්දුට ජනමාධ්‍යයට කථා නොකරන ලෙසට හා විදේශ ගත වීමට පෙර අවසර ලබා ගත යුතු බවට ඊයේ ලබා දුන් අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ නීතිවේදීන් කළ ඉල්ලීම අද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණ.

මේ පිළිබඳව අදහස් දක්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙය ත්‍රස්ත විමර්ශන ඒකකය හා ආණ්ඩුව අධිකරණය නොමග යවා ලබාගත් නියෝගයක් බවයි.

භාෂණයේ නිදහස

අධිකරණය ලබා දුන් නියෝගය මගින් රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ගේ භාෂණයේ නිදහස උල්ලංඝනය වන බවට පෙන්වා දෙමින් අදාළ නියෝගය ඉවත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

රුකී ප්‍රනාන්දුට සහ මහේසන් පියතුමා වෙනුවෙන් මෙම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු පැවසුවේ,

" අපි අධිකරණයට පවසා සිටියා රුකිට සහ ප්‍රවීන් පියතුමාට විරුද්ධව අසත්‍ය චෝදනා රාජ්‍ය මාධ්‍ය මගින් සිදු කරන නිසා ඔවුන්ට ඒවාට පිළිතුරු දීමට අයතිය තිබිය යුතු යැයි කියා. අපි ඉල්ලා සිටියේ ඒ නියෝග අවලංගු කරන ලෙස හෝ තාවකාලිකව හෝ ඒවා අත්හිටුවන ලෙස. නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ"

අද උදෑසන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන් අධිකරණය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසීමට උත්සාහ කළ අවස්ථාවේ දී ඔවුහු මාධ්‍යවේදීන්ට කිසිවක් ප්‍රකාශ නොකිරීමට වග බලාගත්හ.

ප්‍රකාශ පිලිබඳව විමර්ශන

මේ අතර සංදේශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණගෙන් විමසුවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනාට එරෙහිව නැවත අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හේතුවූ කාරණය කුමක්ද යන්නයි.

" ඔවුන් නිදහස් කරන කොටත් ඔවුන්ට දැනුම් දුන්නා, ඒ වගේම මමත් මාධ්‍යයට කිව්වා ඔවුන්ගේ ප්‍රකාශ පිලි බඳව විමර්ශන සිදු වෙනවා කියලා, ඒ ප්‍රකාශවල කරුණු සම්බන්ධ කරුණු ගැන විමර්ශනය කරද්දී එළිවෙච්ච දේ මත තමයි මේ වැඩිදුර 'බී' වාර්තාව ඉදිරිපත් කලේ," යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.

මේ අතර අද මානව හිමිකම් ක්‍රියාකාරීහු මාධ්‍ය හමුවක් පවත්වා මෙයට ඔවුන්ගේ විරෝධය පල කළහ.

මෙලෙස රුකී ප්‍රනාන්දුට සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ට මාධ්‍ය වාරණයක් පනවා ඇත්තේ ඔවුන් නිදහස් කල පසු ඔවුන්ට සිදුවුණු අසාධාරණය පිළිබඳව ඔවුන් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ නිසා විය හැකි බවයි මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ජේ.සී. වැලිඅමුණ ප්‍රකාශ කළේ.

භාෂණයේ නිදහසට සීමා පැනවිය හැක්කේ නීතිමය ප්‍රතිපාදන මත පමණක් බව පවසන නීතිඥ ජේ.සී වැලිඅමුණ එවන් නීතිමය ප්‍රතිපාදනයක් නොමැතිව අධිකරණ නියෝග මත පමණක් භාෂණයට ඇති නිදහස සීමා කළ නොහැකි බව තම මතය බව ද ප්‍රකාශ කළේය.