මානව හිමිකම් පෙත්සම් අඩුවේ

ශ්‍රී ලංකාවේ  ශ්‍රේෂ්ඨාධිකරණය Image copyright gov.lk

පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික මානව හිමිකම් පෙත්සම් සංඛ්‍යාව පහත වැටී තිබේ.

2012 වසරේ ගොනු කළ මානව හිමිකම් පෙත්සම් සංඛ්‍යාව 723 ක් වූ අතර 2013 වසරේදී එම සංඛ්‍යාව සියයට හතළිහකින් පමණ අඩු වී ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්තා පෙන්වා දෙන්නේ.

එම වාර්තා වලට අනුව පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල මුළු පෙත්සම් සංඛ්‍යාව 430 කි.

මෙම අඩුවීම සම්බන්ධයෙන් සංදේශය කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ දශක ගණනාවක් පැවති යුද්ධය නිමාවට පත්වීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

“පැවති යුද්ධය නිමාවට පත්වීමත් සමගම හදිසි නීති රෙගුලාසි යටතේ සිදු කල අත්අඩංගුවට ගැනීම් නැවතී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවා දැන් භාවිතා කරන්නේ අවම වශයෙන්. මෙහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගල අත් අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම් අඩු වී තිබෙනවා. මේ තත්වය මානව හිමිකම් පැමිණිලි අඩු වී මට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා”යැයි ඔහු පැවසීය.

නමුත් ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ සංගමය කොමසාරිස්වරයාගේ අදහස ප්‍රතික්ෂේප කරයි.

එම සංගමයේ සම කැඳවුම් කරු නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පවසන්නේ අධිකරණ ක්‍රමය පිළිබඳව මහජනතාව තුල පවතින විශ්වාසය බිඳ වැටීම මානව හිමිකම් පෙත්සම් අඩු වීමට ප්‍රධාන හේතුවක් බවයි.

“ශ්‍රේෂ්ඨාධිකරණය මුලික මානව හිමිකම් නඩු සම්බන්ධයෙන් දක්වන ආකල්පය පසුගිය කාල සීමාවේ වෙනස් වෙලා තියෙනවා, ඒ වගේම මානව හිමිකම් පෙත්සම් ගොනු කරන්න නීතිඥයෝ පවා මැලි කමක් දක්වනවා, ඒ නිසා මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන සංඛ්‍යාව අඩුවෙලා තිබෙනවා ”යැයි නීතිවේදී කුමාරගේ කියා සිටියේය.

හදිසි නීතිය අහෝසි වී තිබුණත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ හදිසි නීති රෙකුලාසි වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වන හෙයින් මුලික හිමිකම් කඩවීමේ අඩුවක් වී නැතැයිද නීතිඥ කුමාරගේ සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා වලට අනුව පසුගිය වසරේ වැඩි ම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිවයි. ඊට අමතරව අධ්‍යාපන, රාජ්‍ය සේවා කොමිසම සහ පළාත් පාලන ආයතන වලට එරෙහිවද විශාල පෙත්සම් සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ.