ජිනීවා පරීක්ෂණයට ලක්වන කාලය නීර්ණය වේ

24 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 16:49 GMT

ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වසරක කාලයක් ඇතුලත වාර්තාවක් ලබා දෙන මෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ සංශෝධිත යෝජනා කෙටුම්පත මගින් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම උගත් පාඩම් කොමිසමේ විමර්ශනයට ලක් වූ කාලය ඇතුලත සිදු වූ උල්ලංඝණයන් සම්බන්ධයෙන් එම පරීක්ෂණය පැවැත්විය යුතු බවයි, අලුත්ම කෙටුම්පතේ සඳහන් වෙන්නේ.

Image copyright Sunanda Deshapriya
Image caption 'සැප්තැම්බර් වාර්තාව මහ කොමසාරිස්වරියගේ අවසාන පූර්ණ වාර්තාව විය හැකියි'

මෙසේ කාල නියමයක් නීර්ණය කිරීම ඉතා වැදගත් බවයි, ජිනීවා නුවර සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

ලාංකිකයෝ උද්ඝෝෂණයක

සංශෝධිත යෝජනාවේ වචන භාවිත කොට තිබෙන ආකාරය අනුව, 2009 න් පසුව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශනය කිරීමේ අවස්ථාව ලැබෙන බව ඔහුගේ විශ්ලේෂණයයි.

Image copyright Sunanda Deshapriya
Image caption දහසකට අධික පිරිසක් ශ්‍රී ලාංකිකයෝ යෝජනාවට එරෙහිව ජිනීවා නුවර උද්ඝෝෂණයක නිරතව සිටියහ

කෙටුම්පතෙන් ඉල්ලා සිටින පරීක්ෂණය ජාත්‍යන්තර පරීක්ෂණයක් බව පෙන්වා දෙන සුනන්ද දේශප්‍රිය මේ වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ 27 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය පිළිබඳව වාචික වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක් කොට තිබෙන බවද සංදේශයට කියා සිටියේය.

එය නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කරන රටක් සම්බන්ධ අවසාන පූර්ණ වාර්තාව විය හැකි බව ඔහුගේ අදහසයි.

සංශෝධිත යෝජනාව ප්‍රකාශයට පත් වන අතරවාරයේ දහසකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් යෝජනාවට එරෙහිව ජිනීවා නුවර උද්ඝෝෂණයක නිරතව සිටියහ.