අලි ඇතුන් ලියාපදිංචිය ක්‍රමවත් කරන්න

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හීලෑ අලි ඇතුන්ගේ සංගමය විරෝධතා පාගමනක නිරත විය.

පැලවත්තේ සිට වන ජීවී අමාත්‍යාංශය වෙත පැමිණි පා ගමනට අලි ඇතුන් විසි දෙනෙකු පමණ සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

වනජීවී අමාත්‍ය විජිතමුණි සොයිසා වෙත සන්දේශයක් භාර දුන් හීලෑ අලි ඇතුන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ ආගමික සහ සංස්කෘතික කටයුතු සඳහා අවශ්‍ය තරම් හීලෑ අලි ඇතුන් හිඟ බැවින් වල් අලි අල්ලා හීලෑ කිරීමට ඉඩ ප්‍රස්තා ලබා දිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය විරිතමුණි සොයිසා කියා සිටියේ පාරම්පරික සම්ප්‍රදායික අලි කරුවන් අතින් මේ වන විට හීලෑ අලි ඇතුන් ගිලිහී යෑම රට තුල හීලෑ අලි ඇතුන් හිඟ වීමට එක් හේතුවක් වී ඇති බවයි.

එමෙන්ම ලියාපදිංචි නොකළ හීලෑ අලි ඇතුන් ලේඛණගත කිරීම සඳහා සමා කාලයක් දිය යුතු බවත් ඉන් අනතුරුව එම ලැයිස්තුව ප්‍රසිද්ධ කළ යුතු බවත් තමන්ගේ අදහස බව ප්‍රකාශ කළ ඇමතිවරයා , තම අදහස මෙතෙක් කල් ක්‍රියාත්මක නොවීම නිසා කළු කඩයක් ගොඩ නැගී ඇතැයි කියා සිටියේය.

ඒ සම්බන්ධ වගකීම අමාත්‍යංශයේ නිළධාරීන් භාර ගත යුතු බවයි ඇමතිවරයා පවසන්නේ.

ලංකාවේ හීලෑ අලි හිඟ වීමට පරිසර සංගම්වල ක්‍රියාකාරීත්වය හේතූ වී ඇතැයි විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමි චෝදනා කළහ.

මෙම සංවිධාන ශ්‍රී ලංකාවේ උරුමය සමග ගැටීමට ප්‍රයත්න දරන බව පැවසූ සුදත්ත හිමි එවැනි උත්සාහ වැලක්වීමට ඕනෑම පියවරක් ගන්නා බවයි කියා සිටියේ.

මේ පිළිබඳව සංදේශයට අදහස් දැක්වූ පරිසර සංරක්ෂණ භාරය කියා සිටියේ පරිසර සංවිධාන වලට චෝදනා කරමින් නීති විරෝධී ලෙස අල්ලා ගෙන ඇති අලි ඇතුන් ලියා පදිංචි කිරීමේ උත්සාහයක හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය නිරත වී සිටින බවයි.

එවැනි නීතියට පටහැණි ක්‍රියාමාර්ග වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවද පරිසර සංරක්ෂණ භාරය සඳහන් කළේය