ජිනීවා යෝජනාව සම්මත වෙයි

ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

ශ්‍රී ලංකාව, පකිස්තානය සහ චීනය ඇතුළු රටවල් දොළහක් යෝජනාවට එරෙහිව ද එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් විසි තුනක් යෝජනාවට පක්ෂව ද ඡන්දය දීමෙනුයි එය සම්මත කෙරුණේ.

“සංහිඳියාවක් සඳහා දිගටම පියවර නො ගැනීම සහ ශ්‍රිලංකාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතළ මට්ටමින් උල්ලංඝනය කරනු ලැබීම කනස්සල්ලට හේතුවක් වන” බවයි රටවල් කීපයක සහයෝගය ඇතිව යෝජනාව ඉදිරිපත් කරමින් ඇමෙරිකානු නියෝජිතවරිය කියා සිටියේ.

Image copyright Sunanda Deshapriya
Image caption ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආධාරකරුවෝ ජිනීවා නගරයේ.

යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ කියා සිටියේ, ඉදිරිපත් කෙරුණ යෝජනාව අනුව පෙරට ගිය හොත් එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක ස්වාධීනත්වයට බරපතල මට්ටමින් හාණි සිදු වෙන අතර අනිත් අතින් වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් ද සිදු වෙන බවයි.

ඉන්දියාව මධ්‍යස්ථයි

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා ඡන්දය විමසීමේදී ඉන්දියාව ඇතුළු තවත් රටවල් දොළහක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මේ අතර පකිස්තානය යෝජනාවට එරෙහිව කරුණු දක්වමින් කියා සිටියේ, එය ඉදිරිපත් කරන ලද රටවලට ඒ සඳහා පෙනී සිටීමේ සුදුසු කමක් නොමැති බවයි.

පකිස්තාන් නියෝජිතයා යෝජනාව විග්‍රහ කළේ මානව හිමිකම් පිළිබඳ චේතනාවෙන් නොව දේශපාලන අරමුණු මත ගෙනෙන ලද්දක් හැටියටයි.

“මෙම යෝජනාව ඉදිරිපත් කළ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඇඟිල්ල දිගු කළ හැකි තත්වයක නැහැ. ඒ රටවල් දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය කළ රටවල්” පකිස්තාන් නියෝජිතයා පැවසීය.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ අදහස්

Image caption චෙන්නායි දෙමළ ජනයා ජිනීවා යෝජනාවට පක්ෂව

කවර සම්බාධක පනවනු ලැබුනත් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදෙන බවයි, මේ අතර ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව කියා සිටියේ.

පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් රැලිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ ආණ්ඩුවට වැදගත් වන්නේ ජිනීවා ඡන්දය නොව විසිනව වෙනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය වන බවයි.

“මානවීය මෙහෙයුමේ අවසාන අදියර සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට අවසර ලැබෙන්නේ නැහැ. යෝජනා කොතරම් සම්මත කළත් අපි එකඟ නැත්නම් පරීක්ෂණ පවත්වන්න ඉඩක් ලැබෙන්නේ නැහැ” සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමතිවරයා සංදේශයට කියා සිටියේය.

සම්බාධක පනවනු ලැබුනත් තමන් ඒවාට එතරම් කලබල නොවන බවයි ඇමතිවරයා පවසන්නේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරමින්, ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුනොත් රට බේරා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර