‘ආණ්ඩුවට එරෙහි රැල්ලක් නැහැ’

  • 2014 මාර්තු 31
Image copyright newsfirst

සෙනසුරාදා පැවැත්වුන පළාත් සභා මැතිවරණ ප්‍රතිපල තුලින් ආණ්ඩුවේ පසුබෑමක් පෙන්නුම් කෙරෙන බවට විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන විග්‍රහ කිරීම් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බැහැර කරනු ලබයි.

අද සඳුදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් යෞවන සහ තරුණ කටයුතු භාර ඇමති ඩලස් අලහප්පෙරුම කියා සිටියේ දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණ මගින් ආණ්ඩුව විශිෂ්ට ජයග්‍රහණයක් ලද බවයි.

'ගම්පහ වඩාත්ම නාගරික ආසනය මිගමුව, මීගමුවේ අපේ ඡන්ද ප්‍රතිශතය සාපේක්ෂව අඩු වෙලා තිබෙනවා, කොළඹ අපි පැරදුනු කොට්ටාශ 5ත්, ගල්කිස්ස, දෙහිවල, රත්මලාන හා ගාල්ලට වගේ වඩාත් නාගරික ප්‍රදේශවල ප්‍රතිශතය අඩු වෙලා තිබෙනවා, අපි ඒක දේශපාලන වශයෙන් කියව ගන්නවා, ඒවායේ තියෙන සංවිධාන ජාල වල අඩුපාඩු කම් අපි හදා ගන්නවා' වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කළේය.

ජයග්‍රහණය විශිෂ්ටයි

ආණ්ඩුවට එරෙහි රැල්ලක් එම මැතිවරණ ප්‍රතිපල මගින් පෙන්නුම් කෙරෙන බවට විපක්ෂය කරන විග්‍රහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මෙය පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයක් ලෙස සලකන්නේ නම් එය මුලාවක් පමණක් වන බවයි.

Image copyright newsfirst

ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පසුගියදා සිදු කෙරුණ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකුණ රටවල ඡන්ද ශ්‍රී ලංකාවට පක්ෂව දුන් ඒවා හැටියට සැලකෙන බවක් විදේශ ඇමති ජී.එල්.පීරිස් මැතිවරණයෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණි.

එම අදහස සම්බන්ධයෙන් ප්‍රති තර්කයක් මතු කරන එක්සත් ජාතික පක්ෂය, එසේ නම් මෙවර පළාත් සභා මැතිවරණයේ දී ප්‍රකාශ නොකෙරුණ ඡන්ද විපක්ෂයට දුන් ඡන්ද හැටියට සැලකිය හැකි යයි කියා තිබුණ අතර,එම විග්‍රහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කළේ, ‘ජිනීවා ඡන්දය’ සහ පළාත් සභා ඡන්දය ක්‍රම දෙකකට පැවැත්වෙන හෙයින් විපක්ෂයේ තර්කයේ වලංගු බවක් නොමැති බවයි.

විශ්ලේෂණ ප්‍රායෝගික නැහැ

2009 පැවැත්වුන පළාත් සභා මැතිවරණයේදී සහ මෙවර ආණ්ඩුව ලද ඡන්ද ප්‍රමාණය සංසන්දනය කරමින් විපක්ෂය කරන මැතිවරණ විග්‍රහ බැහැර කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන ඉහත කී මාධ්‍ය හමුවේදී කියා සිටියේ එවැනි සංසන්දනයක් කරනු ලැබීම ප්‍රායෝගික නොවන බවයි.

‘සන්ධානය විදිහට ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා පසුබෑමක් නැහැ කියලා, ඔබ පාවිච්චි කරන දර්ශකය 2009 මැතිවරණය, එය කිසියම් විකෘතියක් සහිතව ප්‍රතිඵල නිකුත් වෙච්ච මැතිවරණයක්, ඒක විපක්ෂයක් නැති මැතිවරණ ප්‍රකාශයක් නැති මුළු රටම එකට හිට ගත්ත වෙලාවක පැවති මැතිවරණයක්, ඒකයි මේකයි සංසන්දනය කරන එක සාධාරණ නැහැ’ මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා පැවසීය.

මැතිවරණ ප්‍රතිපල දත්ත සංඛ්‍යා සංසන්දනයේ දී අදාළ වකවානුවේ පවතින දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගත යුතුව ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර