ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ඩයස්පෝරා තහනම තුළින් ප්‍රශ්න ව්‍යාකුල වේවි'

  • 2014 අප්‍රේල් 1
Image copyright Lawyers for democracy
Image caption නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ

විදේශ රටවල තහනම් නොවූ සිවිල් සංවිධාන තහනම් කිරීම තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ තවත් ව්‍යාකුල ප්‍රශ්නවලට මුහුණු දීමට සිදු විය හැකි බව සමාජ ක්‍රියාධරයෝ පවසති.

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ 2001 අංක 1373 යන යෝජනාවට අනුකූලවයි ශ්‍රී ලංකා රජය දෙමළ ඩයස්පෝරා සංවිධාන දහසයක් තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා සම්බන්ධ ජිනීවා යෝජනා සම්මත වීමෙන් පසුව රජය ගත් මේ තීරණය මගින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් තවත් විවේචන එල්ල විය හැකි බවයි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පැවසුවේ.

නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ අංක 1373 යෝජනාවට පසුව ගෙන ඇති තීරණ වලට අනුව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය කඩ නොකොට එම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවද නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ කියා සිටියේය.

‘රජය නැවත වරක් හිදිසි නීතියේ තත්වයට රට ගෙන යන්නයි සුදානම් වෙන්නේ' නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ කියා සිටියේය.

Image copyright AFP
Image caption බොහෝ ඩයස්පෝරා සංවිධාන ත්‍රස්තවාදයට සම්බන්ධ බවයි රජය පවසන්නේ

'විදේශීය ත්‍රස්තවාදී සංවිධාන' ලෙස හඳුනා ගත් පුද්ගලයන් සහ සංවිධාන තහනම් කිරීම පිළිබඳව නීති සම්පාදන වෙමින් පවතින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සංදේශයට ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ නිර්දේශය අනුව, ත්‍රස්තවාදයට සම්බන්ධ බව හඳුන්වන පුද්ගලයන්, කණ්ඩායම් හා ආයතන සතු මුල්‍ය සම්පත් සහ දේපල අත්හිටුවීමට කටයුතු කරන බව රජය නිවේදනය කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක වූ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය කියා සිටියේ තමන් දෙමළ ජනතාවගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් නීත්‍යානුකුලව සහ විවෘතව ක්‍රියා කරන බවයි.

නමුත් විදේශ රටවල ක්‍රියාත්මක වන බොහෝ ඩයස්පෝරා සංවිධාන ත්‍රස්තවාදයට සම්බන්ධ බවයි ශ්‍රී ලංකා රජය පවසන්නේ.