අඟුලාන විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය

  • 2 අප්‍රේල් 2014
විත්තිකරුවන්ට එල්ලවී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි විනිසුරුවරු කියා සිටියහ

අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව අධිකරණය පනවා තිබුණ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරණු ලැබුණි.

මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් බවට පත් අඟුලාන ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ චෝදනාවටයි චූදිතයන් වරද කරුවන් කෙරුණේ.

මෙසේ මරණ දඬුවමට යටත් කෙරුණේ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති වී.ටි.නිව්ටන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ග්‍රාමාරක්ෂක නිලධාරියෙකුයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් තොරවයි.

විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පැය දෙකකට පමණ පසුවයි.

අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ ධනුෂ්ක අපොන්සු සහ දිනේෂ් තරංග යන තරුණයින් දෙදෙනා 2009 වසරේ අගෝස්තු මස 12 වන දින පැහැර ගෙන ගොස් මරා දැමු බවට චෝදනා කරමිනුයි විත්තිකරුවන් වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබුණේ.

එම නඩුව විභාගයට ගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විත්තිකරුවන් හතර දෙනාට මරණිය දණ්ඩනය පනවනු ලැබ තිබුණි.

එම දඬුවම ඉවත් කොට තමන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණ අතර එම අභියාචනා විභාග කල පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්ද මහාධිකරණය විසින් කලින් දෙනු ලැබ තිබුණ තීන්දුව තහවුරු කරනු ලැබුණි.

පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක්

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ සභාපති විනිසුරු ශිරානි තිලකවර්ධන කියා සිටියේ පොලිස් නිලධාරීන් තමන්ට පැවරී ඇති බලය වගකීමකින් තොරව භාවිතා කිරීම භයානක තත්වයක් බවයි.

විත්තිකරුවන්ට එල්ලවී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොර ව ඔප්පු වී ඇතැයි සඳහන් කළ විනිශ්චය මණ්ඩලය ඔවුන්ට එරෙහි මරණ දඬුවම දඬුවම් ස්ථිර කරන බවයි කියා සිටියේ.

මරා දැමුණ දිනේෂ් තරංගගේ මෑණියන් වන තරංගා ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ ව සතුටට පත් වන බවයි.

“මේ නඩු තීන්දුවෙන් අපට සැහීමකට පත් වන්න පුළුවන්. මේක අනිත් නිලධාරීන්ටත්

හොඳ පාඩමක් . අපට සිදු වූ දේ වෙනත් කෙනෙකුට නොවිය යුතුයි.’’ තරංගා ප්‍රනාන්දු කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර