ජිනීවා පරීක්ෂණයට සහාය දෙන්න - මුස්ලිම් කොන්ග්‍රසය

Image copyright slmc
Image caption 'අප පරීක්ෂණ වලට සහාය නොදුන්නොත් අප ප්‍රශ්නය මඟ හරින බව පෙනෙන්නත් පුළුවන්'

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා අසත්‍ය බව සනාථ කිරීම් වස් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවත්වන පරීක්ෂණයට ශ්‍රී ලංකා ආණ්ඩුව සහාය දිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ පාර්ශවකාර මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රධාන ලේකම් හසන් අලි බීබීසී ඒ බව කියා සිටියේ දෙමළ සේවයේ සිවරාමක්‍රිෂ්ණන් පරමේශ්වරන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

''අප ජිනීවා යෝජනා සම්බන්ධයෙන් සහය පළ කළොත් පමණයි අපට හැකියාව ලැබෙන්නේ මේ එල්ලවෙලා තිබෙන චෝදනා අසත්‍ය චෝදනා බව ඔප්පු කරන්න," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"අප පරීක්ෂණ වලට සහාය නොදුන්නොත් ඒ චෝදනා සත්‍ය වනවා පමණක් නෙමයි අප ප්‍රශ්නය මඟ හරින බව පෙනෙන්නත් පුළුවන්."

ජිනීවා පරීක්ෂණය ශ්‍රී ලංකාවට විරුද්ධව පැවැත්වෙන්නක් නොවන බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා අවධාරණය කළේය.

"වැරදි කළ පුද්ගලයන්ටයි ඒවාට මුහුණ දෙන්න වෙන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදී රටක විවිධ අදහස් දරන පුද්ගලයන් ඉන්නවා. ජිනීවා පරීක්ෂණ හරහා ඒ සියලුම දෙනා වැරදිකරුවන් වෙන්නේ නැහැ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සිය පක්ෂය ආණ්ඩුවට ඇඟිල්ල දිගු නොකරන බවත් ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර