ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විස්සයි විස්ස කුසලානය 'සුවිශේෂී ජයග්‍රහණයක්'

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම් සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග,’විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟවල වැදගත්කම පාසල් දරුවන්ගේ හිසට ඇතුල් නොකරන මෙන් ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග එම අදහස් පළ කළේ, බීබීසී සංදේශය කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ පැවැත්වූ සාකඡාවකදී.

ක්‍රිකට් ලෝක ශූරතා කුසලානය දිනා ගනු ලැබීමෙන් පසු අවස්ථා කීපයක්ම යළි ජයග්‍රහණය අබියසට පැමිණ එය අහිමි වුවද, ‘විස්සෙන් විස්ස’ කුසලානය දිනා ගැනීම තවත් සුවිශේෂී දෙයක් වන බවත් 1996 ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පවසයි.

මෙවැනි ලෝක ශූරතාවයක් දිනා ගැනීම ඉතාම අසීරු දෙයක් වන බව තමා අත් දැකීමෙන් දන්නා බවයි අර්ජුන රණතුංග පෙන්වා දෙන්නේ.

“අවස්ථා කීපයක්ම තවත් ලෝක ශූරතාවයක් දිනා ගැනීමේ ආසන්නයටම ශ්‍රී ලංකාව ලඟා වුනත් එම අවස්ථාවල දී ගත් ඇතැම් වැරදි තීරණ මෙන් ම සෙසු කණ්ඩායම්වල සාර්ථක ක්‍රීඩා කිරීම ඉදිරියේ අවාසනාවට එම අවස්ථා අපෙන් ගිලිහී ගියා. මේ තරඟාවලියට පෙර බංග්ලාදේශයේ සහභාගී වුන තරඟ තුළින් ලත් අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් සාර්ථකව ක්‍රීඩා කොට අපට තවත් ලෝක කුසලානයක් දිනා දීමට අපේ ක්‍රීඩකයන් කණ්ඩායම සමත් වුනා” අර්ජුන රණතුංග ඉහත කී සාකච්ඡාවේදී කියා සිටියේය.

අනාගත සැලසුම්

නොයෙක් අවමන් ලැබීම් ඉදිරියේ ශ්‍රී ලංකාව යම් ගරුත්වයක් ලබන්නේ ක්‍රීඩාව තුළින් යයි කියා සිටි ඔහු දිනේෂ් චන්දිමාල් විසින් දරන ලද නායකත්වය මෙම ‘විස්සයි විස්ස’ තරඟාවලිය අතරවාරයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළේය.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ‘විස්සයි විස්ස’ක්‍රිකට් තරඟ වලින් සමු ගැනීම ගැන අදහස් දක්වමින් අර්ජුන රණතුංග කියා සිටියේ, සමු ගැනීමේ තීරණය ගැනීම ක්‍රීඩකයකු සතු අයිතියක් වන බවයි.

“සමහරු ඉන්නවා විශ්‍රාම ගන්න කියල කියන තෙක් . ඒත් සමහරු ඉක්මණින් විශ්‍රාම යනවා. තීරණය ගත යුතු වෙන්නේ ඒ ඒ ක්‍රීඩකයා විසිනුයි.”

සාකච්ඡා තුළින් විසඳුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩකයන් අතර මතුව පැවති ගැටළු ‘විස්සයි විස්ස’ ජයත් සමඟ නිරාකරණය වේදැයි ප්‍රශ්නයක් යොමු කළ විට හිටපු ක්‍රිකට් නායකයාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.

“මම මෙතැන පැති දෙකක් දකිනවා.සමහර වෙලාවට පරිපාලනය අත්තනෝමතිකයි. සමහර වෙලාවට ක්‍රීඩකයන් විනය නොමැතිව ක්‍රියා කරනවා. මේවා සාකච්ඡා මගින් විසඳා ගත යුතු දේවල්. මේ තරඟාවලිය අතරේ පාලක මණ්ඩලය මාධ්‍ය මගින් ප්‍රචාරය කළා ,ඩොලර් මිලියනයක්, මිලියන එක හමාරක් ක්‍රීඩකයන්ට ගෙවන බවට.එවැනි ප්‍රකාශන ක්‍රීඩකයන් අපහසු තත්වයකට හෙළීමක්”.

ඉහත කී ආකාරයේ ප්‍රකාශන මගින් සිදු කෙරෙන්නේ ක්‍රීඩකයන් මුදලටම ක්‍රීඩා කරන්නන් බවට වැරදි වැටහීමක් ඇති කිරීම යයි අර්ජුන රණතුංග පෙන්වා දෙයි.