පරීක්ෂණයක් ඇරඹීමට රජය සහය දක්වන්නේ නැහැ - විදේශ ඇමති

ඉකුත් දා ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාව අනුව පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලකා රජය කිසිසේත් සහයෝගයක් දක්වන්නේ නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් ප්‍රකාශ කරයි.

විදේශ මාධ්‍යවේදීන් හමුවේ කොළඹ පැවති පුවත් සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ මේ යෝජනාව සම්මත කිරීම නීති විරෝධී බවයි.

මෙවැනි තීන්දුවකට අවතීර්ණ වන්නේ ප්‍රධාන කරුණු තුනක් මත පිහිටා බව අමාත්‍ය ජි.එල්.පීරිස් පැවසුවේය.

නීතිමය ප්‍රශ්නයක්

“මේක නීතිමය ප්‍රශ්නයක්. විශේෂිත වූ රටක් සඳහා මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයට පරීක්ෂණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවට අපි කරුණු පෙන්නා දීල තියනවා”

මහ කොමසාරිස්වරිය මේ පරීක්‍ෂණය පවත්වන්නේ පූර්ව නිගමනයන්ගේ බැහැරවද යන සැකය මතු කෙරෙන බව පවසන විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් සාධාරණ සහ අපක්ෂපාතී විමර්ශනයකට මහ කොමසාරිස්වරිය විවෘත මනසකින් සිටින්නේ ද යන ප්‍රශ්නයත් ඉදිරිපත් කළේය.

මානව හිමිකම් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය මේ පරීක්ෂණය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගන්නේ කෙසේද යන්න ගැන අපැහැදිලි තත්වයක් පෙන්නුම් කරන බවයි විදේශ අමාත්‍යවරයා කියා සිටින්නේ.

පරීක්ෂණ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම පිණිස ඉල්ලීමක් කරන්නේ නම් රජය ගන්නා වූ පියවර කවරේ දැයි මාධ්‍යවේදියකු විසින් නගනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එය උප කල්පිත ප්‍රශ්නයක් බැව් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.