මහේලට පාලක මණ්ඩලයෙන් පිළිතුරු

Image copyright AFP

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීම ක්‍රීඩකයන් සහ පාලක මණ්ඩලය අතර උණුසුම් මත ගැටුමකට හේතු වී තිබේ.

විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීම කෙලින්ම මාධ්‍යවලට හෙළි කිරීම මගින් පාවාදීමක් කළැයි තමන් මහේල ජයවර්ධනට හෝ කුමාර් සංගක්කාරට චෝදනා නොකළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසයි.

මහේල වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියාට හා එහි ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ගැන කණගාටුවට පත් වන බවයි, ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙන්නේ.

සමු ගැනීම

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැවති මාධ්‍ය හමුවක දී මහේල ජයවර්ධන සඳහන් කර තිබුණේ, තමා සහ කුමාර් සංගක්කාර විස්සයි විස්ස තරඟ වලින් සමු ගන්නා බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී සඳහන් කළා විනා, එය සැලසුම් සහගතව සිදු කරන ලද දෙයක් නොවන බවයි.

Image copyright

එහෙත් සිය අදහස් විමසීමක් නො කොට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නිශාන්ත රණතුංග සහ ප්‍රධාන විධායක ඈශ්ලි ද සිල්වා විසින් ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් තමා විවේචනය කරනු ලැබීම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි, මහේල ජයවර්ධන කියා සිටියේ.

මෙම අර්බුදය සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙන්නේ, කරුණු නිවැරදි කර ගනු ලැබීමෙන් තොරව, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකු විසින් පාලක මණ්ඩලයේ ලේකම්වරයා පදනම් විරහිතව විවේචනයට ලක් කරනු ලැබීම කණගාටුවට කරුණක් වන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර