දෙමළ ජනයාගේ ප්‍රශ්ණ දකුණු අප්‍රිකාවට කියයි

  • 2014 අප්‍රේල් 9
Image copyright BBCTamil
Image caption දෙමළ වැසියන්ට උදාවි ඇති සාමයක් නොමැති බව මන්ත්‍රීවරයා පවසයි

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට මුහුණ පෑමට සිදුව ඇති ප්‍රශ්ණ හා ගැටළු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් ඇතුලු පිරිසක් අද(09 දා) අළුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ.

එසේ පිටත්ව යෑමට පෙර ආර්.සම්බන්දන් මන්ත්‍රිවරයා බී.බී.සී.සන්දේශයට කියාසිටියේ උතුරු නැගෙනහිර දෙමළ වැසියන් කිසිදු නිදහසක් හෝ අයිතිවාසිකමක් නොමැතිව මේ වන විට කල් ගෙවන බවයි.

රජය සියලු දෙනාටම සාමය උදාකොට ඇති බව පැවසුවද දෙමළ වැසියන්ට උදාවි ඇති සාමයක් නොමැති බව මන්ත්‍රීවරයා පැවසුවේය.

'ආරාධනය කළ නිසා යනවා'

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ශ්‍රී ලංකාවේ පැවති චොගම් සමලුවට සහභාගි වු අවස්ථාවේදී දෙමළ ජනයාට ඇති ප්‍රශ්ණ හා ගැටලු ගැන සාකච්ඡා කිරීමට එහි පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව දෙමළ ජාතික සන්ධානයේ පිරිස දකුණු අප්‍රිකාව බලා යන බවද ඔහු කියාසිටියේය.

දකුණු අප්‍රිකානු නියෝජිතයින් හමුවේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කවර ප්‍රශ්ණදැයි විමසූවිට මන්ත්‍රීවරයා පැවසුවේ රජය දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින අතරතුර යුද අනාථයන් යලි පදිංචි කිරීමට අපොහොසත්ව සිටින තත්ත්වය ගැන මුලින්ම කරුණු ඉදිරිපත් කරන බවයි.

'ජගත් මණ්ඩලයට බලකරන්නැයි ඉල්ලනවා'

මීට අමතරව යුද්ධය අවසන් වී ඇතත් රජය යුද හමුදාව හා පොලීසිය යොදවා උතුරේ සෝදිසි මෙහෙයුම් දියත් කොට දෙමළ වැසියන් අත් අඩංගුවට ගැනීම නීතිවිරෝධි බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඇතුලු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට දැනුම් දී ඊට විසදුමක් ඉල්ලා සිටින බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වු යුද අපරාධ සම්බන්ධයෙන් වු පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන මෙන් ජගත් මණ්ඩලයට බලකරන මෙන් තම නියෝජිත පිරිස දකුනු අප්‍රිකානු රජයෙන් ඉල්ලා සිටින්නේ යැයිද ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර