ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හෙද උපාධි පාඨමාලාව 'කප්පාදු කරන්න එපා'

හෙද උපාධි පාඨමාලාවට නියමිත කාලසීමාව කප්පාදු කිරීමේ ව්‍යායාමය වැළැක්වීමට මැදිහත් වන මෙන් හෙද උපාධි අපේක්ෂකයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරති.

රටපුරා ස්ථාන හතරක මාස ගණනාවක් මුළුල්ලේ උද්ඝෝෂණයේ යෙදී සිටින හෙද උපාධි අපේක්ෂකයන් පවසන්නේ සිවු වසරක පාඨමාලාව වසර තුනක් දක්වා අඩු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවයි.

එය තමන්ටත්, රෝගීන්ටත් කරන අසාධාරණයක් බව පවසන හෙද උපාධි අපේක්ෂකයෝ මීට පෙරාතුව පැවති ආකාරයටම පාඨමාලාව සිවු වසරක් දක්වා දීර්ඝ කරන මෙන් ඉල්ලා සිටිති.

එම ඉල්ලීම පෙරදැරි කරගෙන දින සියයකට වැඩි කාලයක් දවසේ පැය විසිහතර පුරා ඔවුහු ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපස උද්ඝෝෂණයක නිරතව සිටිති.

සිය ඉල්ලීම් ඉටු නොවන්නේ නම් උද්ඝෝෂණය නොනවත්වන බවයි, ගාල්ලේ උද්ඝෝෂණයේ යෙදී සිටින අතරවාරයේ රත්නසිරි නල්ලපෙරුම සමඟ අදහස් දැක්වූ හෙද උපාධි අපේක්ෂකයන්ගේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් රොෂේන් සමීර කියා සිටියේ.