මරණ පරීක්ෂණයට රදගුරු සහාය

Image caption තරුණියගේ මරණය සම්බන්ධයෙන් පවුලේ සහ ජනතා විරෝධය

යාපනය ගුරුනගර් පළාතේදී තරුණියක් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට කතෝලික පූජකවරුන් දෙදෙනකු සම්බන්ධ බවට රදගුරු නිවසට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි යාපනයේ රදගුරු නිවස බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

කතෝලික පූජකවරුන් දෙදෙනකු මේ සිද්ධියට සම්බන්ධ බවට කුමන හෝ පාර්ශවයක් තවදුරටත් චෝදනා කරන්නේ නම් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සහාය වීමට රදගුරු නිවස සූදානම් බවද නිකුත් කළ නිවේදනයේ කියැවෙයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බවයි.

“ඥාතීන් පවසන්නේ කතෝලික පූජකවරුන්ගේ මේ සම්බන්ධ සම්බන්ධයක් තිබූ බවට.මේ සිද්ධිය ගැන දැනට විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා. සාක්ෂි සටහන් කරනවා. ඒ ආකාරයට ඍජු සාක්ෂි තිබේ නම් අපි ඒ සම්බන්ධව ක්‍රියා කරනවා,” ඔහු පැවසුවේය.

ආදරය ඉල්ලීම

මිය ගිය තරුණියගේ පියා වන එස්.ජේරෝම් පැවසුවේ කතෝලික පූජකවරුන් දෙදෙනකු වරින්වර මාරුවෙන් මාරුවට තම දියණියගේ ආදරය ඉල්ලා කරදර කළ නිසා ඒවා ඉවසා ගැනීමට නොහැකිව තම දියණිය ලිඳකට පැන සිය දිවි හානිකර ගත බවයි.

ජේරෝම් කොන්සොලීටා නමැති විසි තුන් හැවිරිදි තරුණිය අතුරුදහන් වී දිනකට පසුව ඇගේ මළ සිරුර නිවසට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි පාලු ළිඳකින් සොයා ගනු ලැබුවේ ප්‍රදේශවාසීන් විසින්.

මවගේ අදහස්

මිය ගිය තරුණියගේ මව වන ආර්.සෙලෙස්තිනා කියා සිටින්නේ දියණිය මිය යන්නට දින කිහිපයකට පෙර පූජකවරුන් දෙදෙනකු ඇයගෙන් ආදරය ඉල්ලා කෙරෙන කරදර සියල්ල තමන්ට පැවසූ බවයි.

එම කථාව ඇසීමෙන් පසුව පූජකවරුන් සිටින දේවස්ථානයට පවුලේ සාමාජිකයන් ආගමික කටයුතු සඳහා යෑමෙන් වැලකී සිටි බවද ඇය කියා සිටියාය.

ජේරෝම් කොන්සොලීටා ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.සිවරූබන් පැවසුවේ මේ මරණය සිය දිවි හානි කර ගැනීමක් වන බවයි.

මළ සිරුරේ තුවාල කිසිවක් නොතිබූ බවත් ඇය කුමන ආකාරයක හෝ ලිංගික අතවරයකට ලක් වී නොසිටි බවත් අධිකරණ වෛද්‍ය නිලධාරියා වැඩිදුරත් කියා සිටියේය.