ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහගම සේකර මතකය

Image caption මහගම සේකරයන්ගේ අවසාන කාව්‍ය නිර්මාණය ‘ප්‍රබුද්ධ’

ශ්‍රී ලාංකීය කාව්‍ය සාම්ප්‍රදාය නව මගකට යොමු කිරීමේ පුරෝගාමියකු වූ මහගම සේකරයාණන් දැයෙන් සමු ගත්තේ තිස් අට වසරකට පෙර.

මහගම සේකර විසින් රචිත කව් ගී හැරුණු කොට කෙටි කතා, නව කතා, මුද්‍රා නාටක, ගීත නාටක, වේදිකා නාට්‍යය, ගුවන් විදුලි සංගීතාංග, ළමා සාහිත්‍ය, පරිවර්තන හා අනුවර්තන ප්‍රමාණය අති මහත්.

චිත්‍ර කලාවේත්, මූර්ති ශිල්පයේත් දස්කම් දැක්වූ ඔහු තිර රචනය හා චිත්‍රපට අධ්‍යක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකීය කලාවට නව මුහුණු වරක් ලබා දුන්ණේය.

දෙදහස් දාහතරේ අප්‍රේල් මස හත් වන දිනට ඔහුගේ අසු පස් වැනි ජන්ම දිනය යෙදී තිබුණි.

'සේකර මහිම'

ඒ වෙනුවෙන් මහගම සේකරයානන්ගේ නිහඬ සහෘදයෙකු වන ගම්පහ ආනන්ද වික්‍රමආරච්චි විසින් ගෙවුණු තිස් අට වසර පුරා මහගම සේකරයන් පිළිබද ලියන ලද සමරු ලිපි හා කවි එකතු කර සකසන ලද ‘’සේකර මහිම’’ කෘතිය ශ්‍රී ලංකාවේ සම්මානනීය ගද්‍ය හා පද්‍ය රචකයෙකු වන බන්දුල නානායක්කාරවසම්ට පිළිගන්වනු ලැබිණි.

මහගම සේකරයන්ගේ අවසාන කාව්‍ය නිර්මාණය 'ප්‍රබුද්ධ' කාව්‍ය සංග්‍රහයයි. එය මුද්‍රණය කරන ලැබුවේ ඔහු මියගොස් අවුරුද්දකට පසු එක්දහස් නවසීය හැත්තෑ හත වසරේදීය.

ඔහුගේ මරණින් වසර කිහිපයක් යන තුරුත් ඔහු අතින් ලියැවුන කෘතීන් පළ විය.

තම ශාස්ත්‍ර සූරී (Phd) උපාධි නිබන්ධනය වෙනුවෙන් සම්පාදිත ‘’සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ’’ කෘතිය සේකරයන්ගේ අවසාන ශාස්ත්‍රීය කෘතියයි.

නමුත් ඔහුට එම උපාධි නිබන්ධනයෙන් අවසාන කර ගත හැකි වුයේ කොටස් පහෙන් කොටස් තුනක් පමණි. ඉතිරි පරිච්ඡේද දෙක අධීක්ෂණ උපදෙස් අනුව සංශෝධනය කර නැවත ලිවීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

සේකරයන්ට ආචාර්ය උපාධිය

ඒ පිළිබඳව කටයුතු එතැනින් අවසන් කිරීම ශාස්ත්‍ර හානියක් බව පිළිගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලය නිබන්ධනය පැවති අයුරින්ම නියමානුකූලව පරීක්ෂාවට ලක් කොට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

පරීක්ෂක මණ්ඩල නිර්දේශ අනුමත කර ඇති විශ්වවිද්‍යාලයීය සනාතන සභාව එම නිබන්ධනය එනම් 'සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ' කෘතිය උදෙසා මහගම සේකරයන් වෙත ශාස්ත්‍ර සූරී ආචාර්ය උපාධිය පශ්චාජනන්‍ය (Posthumous) වශයෙන් පිරිනැමීමට තීරණය කර ඇත.

මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පර්යේෂණ නිබන්ධනයක් උදෙසා පශ්චාජනන්‍ය උපාධියක් පිරිනැමූ ප්‍රථම අවස්ථාව යි.