'හම්බන්තොට මුදා නොගත් ප්‍රදේශයක්' - හිටපු හමුදාපති

Image caption එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ලවුණු ප්‍රහාරය පිළිබද පුදුමයට පත්වන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියයි.

නිරීක්ෂණ සංචාරයක් සඳහා හම්බන්තොටට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බ්‍රහස්පතින්දා එල්ලවුණු ප්‍රහාරය පිළිබද තමා පුදුමයට පත්වන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

පළාත් සභා ඡන්දයට පෙර රජයේ ආධාර කරුවන් සහ දේශපාලඥයින් හම්බන්තොට ප්‍රදේශයේ අයුක්තිය රජ කරවමින්, නීතිය අවනීතිය බවට පත් කර ගිනි අවි හා බෝම්බ අතට ගෙන මැර බලයෙන් ජනතාවට හිරිහැර කරමින් සිටීම ඊට හේතුව යයි හිටපු හමුදාපතිවරයා පවසයි.

තම පාක්ෂිකයන්ට ද පසුගියදා පැවැත්වුන පළාත් සභා මැතිවරණයේදී එවැනි අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වූ බවයි,ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

පොලිසිය අසරණයි

නාම යෝජනා දුන් අවස්ථාවේ තම පක්ෂය විසින් ආසන හතරක පැවැත්වීමට සැළසුම් කර තිබු රැස්වීම් අටකට අවසර නොලැබුණු බව සිහිපත් කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයන් ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ පහරකෑම් ලබද්දී පොලීසිය අසරණව බලා සිටි අවස්ථා තිබුණු බවත් සඳහන් කළේය.

Image caption නාමල් රාජපක්ෂ සහ මනුෂ නානායක්කාර

හම්බන්තොට ප්‍රදේශය මුදා නොගත් ප්‍රදේශයක් ලෙස හඳුන්වන හිටපු හමුදාපතිවරයා, එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් තම රාජකාරිය කිරීමට නොහැකිව සාක්කුවල අත දමාගෙන සිටින මොහොතක මැරයින් පිස්තෝල බෝම්බ රැගෙන නිදැල්ලේ නීතීය මෙහෙය වන බවයි පෙන්වාදෙන්නේ.

මේ අතර දකුණු පළාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසන්නේ, විපක්ෂයේ දේශපාලකයන්ට හම්බන්තොට පළාත ඔවුන් නුරුස්නා ප්‍රදේශයක් බවට පත්ව ඇති බව තමන් පිළිගන්නා බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට ජනාධිපතිතුමා විසින් ලබා දුන් වරාය, ගුවන් තොටුපල හා මහාමාර්ග ඇතුළු සංවර්ධන ක්‍රියාදාමය නිසා විපක්ෂයේ දේශපාලනඥයින් හම්බන්තොට නුරුස්නා බව මන්ත්‍රීවරයා කියා සිටියි.

ජනතා විරෝධය

නිරීක්ෂණ චාරිකාවක් සඳහා හම්බන්තොටට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය තමන් අනුමත නො කරන නමුත් ප්‍රදේශයේ පවතින දැවැන්ත සංවර්ධනයට විරුද්ධව යම් පිරිසක් කතා කරද්දී ජනතාව ඊට විරුද්ධව නැගී සිට ඇතැයි පවසන මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා, ජනාධිපතිතුමාට හෝ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එය පාලනය කිරීමට නොහැකි බවයි කියා සිටියේ.

ප්‍රහාරය අවස්ථාවේ පිස්තෝලයක් අතැතිව සිටි හම්බන්තොට නගරාධිපතිවරයා අත්අඩංගුවට නොගන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බලපෑම මත බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන මනුෂ මන්ත්‍රීවරයා, නගරාධිපතිවරයාට විරුද්ධව ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර