ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බොදු බල සේනා තවත් මෙහෙයුමක්

බොදු බල සේනා සංවිධානයට අයත් භික්ෂූන් වහන්සේ පිරිසක් බදාදා උදේ වරුවේ කොළඹ කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට කඩා වැදී එහි කාමර පරික්ෂා කළහ.

පසුගිය දා බොදු බල සේනාවේ ප්‍රහාරයකට ගොදුරු වූ වටරැක විජිත හිමියන් අමාත්‍යවරයාගේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සිටින බවට චෝදනා කරමිනුයි, එම සෝදිසි කිරීම සිදු කෙරුණේ.

එහෙත් අමාත්‍යංශ පරිශ්‍රයේ වටරැක විජිත හිමියන් නො සිටි අතර, තම අමාත්‍යාංශයට බොදු බල සේනා සංවිධානය කඩාවැදීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ දැඩි විවේචනයට ලක් විය.

අමාත්‍යංශවලට රජයේ ආයතනවලට බලෙන් කඩ වැදී කාමර පරික්ෂා කිරීමට බොදු බල සේනා සංවිධානයට කිසිදු අයිතියක් නැති බවයි, අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් ප්‍රකාශ කළේ.

"බොදු බල සේනා ස්වාමීන් වහන්සේලා ඇවිත් හැසිරුණ විදිය වැරදියි. ඔවුන්ට කිසිම අයිතියක් නැහැ, ඒ විදියේ පරීක්ෂණයක් කිරීමට" ඇමතිවරයා පවසයි.

වටරැක හිමියන් සොයා

වටරැක විජිත හිමියන් අමාත්‍යංශයේ සඟවා ගෙන සිටින බවට තොරතුරක් ලැබී ඇතැයි පවසමින් බොදු බල සේනා සංවිධානය එහි ඇතුළු වී අමාත්‍යංශයේ කාමර පරීක්ෂා කරද්දී එම ස්ථානයේ විජිත හිමියන් නොමැති බව අමාත්‍යංශ ලේකම්වරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බල සේනා කණ්ඩායමට දැනුම් දෙනු ලැබ ඇත.

ඉහත කී කඩා පැනීමේ දී පොලිසිය හා බොදු බල සේනා හිමිවරුන් අතර ද ගැටුම්කාරී තත්වයක් ඇති විය.

“තමන් ද බෞද්ධයන්” යයි කියා සිටි පොලිස් භටයන් පැවසුවේ රටේ නීතියක් ඇති බවත්, බොදු බල සේනාවට එවැනි පරික්ෂා කිරීම් සඳහා අයිතියක් නොමැති බවයි.

පසුව මාධ්‍යයට අදහස් දැක් වූ බොදු බල සේනාවේ වැල්ලම්පිටියේ සුමන ධම්ම හිමියන් පැවසුවේ, මුස්ලිම් ජන සමාජයේ ප්‍රශ්න විසඳා ගැනීමට බෞද්ධ භික්ෂූන් සම්බන්ධ කර ගැනීමට තමන් විරුද්ධ බවයි.

‘අපිත් බෞද්ධ’

බොදු බල සේනා සංවිධානය රජයේ ආයතනයකට ඇතුල් වී එහි කාමර පරික්ෂා කිරීමේදී පොලිසිය ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් නො ගන්නේ රජයේ ඉහල අනුග්‍රහයක් ඔවුන්ට හිමි වන නිසා බවට නැගෙන චෝදනා ගැන සංදේශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, රජයෙන් එවැනි සහයෝගයක් ලැබෙතැයි තමන් පිළි නොගන්නා බවයි.

“අනිවාර්යයෙන් ම ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කරන බවයි” පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ වැඩි දුරටත් කියා සිටියේ.

රටේ නීති කැඩුවොත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා යයි නොතකා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පවසයි.