මහානායක හිමිවරු ජනාධිපතිට ලියති

  • 2014 අප්‍රේල් 23
Image copyright bbc

ඉදිරි දින දෙක තුළ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිත ගැසට් පත්‍රිකා දෙකක් සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපතිවරයා වෙත යවන බව මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියෝ ප්‍රකාශ කරති.

සූදුව සහ වෙනත් දුරාචාර වලට නීතිමය පදනමක් සැකසෙන නිසා ඒ සම්බන්ධයෙන් ජාතික භික්ෂු සම්මේලනය අද මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී උන්වහන්සේ එසේ ප්‍රතිඥා දුන් බව ජාතික භික්ෂු සම්මේලනයේ සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් සියලු නිකායික මහ නායක හිමිවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් අදම සකස් කොට ජනාධිපතිතුමා ඇතුළු රජය වෙත යවන බව මහා නායක හිමියන් සඳහන් කළ බව පූජ්‍ය රජවත්තේ වප්ප හිමියෝ ප්‍රකාශ කළහ.

ඡන්දය

පෞද්ගලිකව මුණ ගැසීමට නොහැකි නමුත් මේ පනත් කෙටුම් පත්වලට ඡන්දය නොදෙන ලෙසට ජාතික භික්ෂු සම්මේලනය පක්ෂ-විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පොදුවේ ඉල්ලීමක් කළ බවයි පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන් ප්‍රකාශ කළේ.

කොළඹ කොටුවේ ඉදි කිරීමට නියමිත වෙළෙඳ සංකීර්ණය සහ නිවාස සංකීර්ණය ඇතුළු සුඛෝපභෝගී ආයතන තුනක් සම්බන්ධ පනත් කෙටුම් පතක් මීට කලින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පැවසූ උන්වහන්සේ මහා නායක හිමිවරුන් සහ මහා සංඝරත්නයත් ජනතා විරෝධයත් මත එය රජය විසින් අත් හැර දැමූ බව පැවසූහ.

ආනුෂාංගික පහසුකම්

Image caption විපක්ෂයේ කැසිනෝ විරෝධය

“ නැවත වරක් ඒක වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරලා තියෙනවා. එම කෙටුම්පත් වල සඳහන් වෙලා තියෙන්නේ ආනුෂාංගික පහසුකම් කියන වචනය. ආනුෂාංගික පහසුකම් යටතේ මොනවාද කියල නැහැ හරියටම අපි සැකකරනවා මේ ආනුෂාංගික පහසුකම් කිව්වහම ඕනෑම දෙයක් වෙන්න පුළුවන්, ” උන්වහන්සේ ප්‍රකාශ කළහ.

විශේෂ බදු සහන ලබා දෙමින් මහා පරිමාන කැසිනෝ ව්‍යාපෘති දෙකක් හඳුන්වා දීමට මීට මාස කිහිපයකට ඉහතදී ගත් උත්සාහය මහ නායක හිමිවරුන් සහ විපක්ෂයේ විරෝධය මත අත්හල ආණ්ඩුව, කැසිනෝ ව්‍යාපෘතිය යළිත් හඳුන්වා දීමට සැරසෙන බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.