ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විල්පත්තුවේ 'සත්‍යය වාර්තා කරන්න'

1990 දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් පැය දෙකක් ඇතුලත සිය උපන් ගම් බිම් හැරදමා යාමට සිදුවූ බව සිහිපත් කරන මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රදේශවාසී ජනතාව, වර්තමානයේ බොහෝ සංවිධාන බිහි වී තිබුනත් තමන් මෙන්ම සිංහල ජනතාවද එදා උතුරෙන් පලවා හරිද්දී ඒ වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු සංවිධානයක් නොසිටි බව පවසති.

මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිදු කර තිබෙන නැවත පදිංචි කරවීම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබුණු සංචාරයකදීයි, ප්‍රදේශවාසීන් ඒ බව සඳහන් කළේ.

මුසලි ප්‍රදේශයේ ඉඩම්වල අයිතිය සනාථ කිරීම පිණිස සාක්ෂි රැසක් තිබෙන බවද ඔවුහු පවසති.

අඟහරුවාදා මාධ්‍ය සංචාරය කැඳවනු ලැබ තිබුණේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා විසින්.

'සත්‍යය වාර්තා කරන්න'

විල්පත්තුව වනෝද්‍යානයේ මුස්ලිම් ජනතාව පදිංචි කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා, ප්‍රදේශයේදී තමන් දුටු සත්‍යය වාර්තා කරන මෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

විල්පත්තුව උතුරු අභයභූමිය පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බවයි, මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව් එම් එහියාන් එහිදී කියා සිටියේ.

ප්‍රදේශවාසී ජනතාවගේ ඉඩම් නාවික හමුදාව විසින් අත් පත් කර ගෙන සිටීම හේතුවෙන් මෙවැනි බොහෝ ගැටළු මතුවී ඇති බවද ඔහු පැවසීය.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මන්නාරම දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරී ඒ එම් ඉෂාඩ්, විල්පත්තුව උතුරු අභය භුමිය ප්‍රකාශයට පත් කිරීමේදී මැනුම් කටයුත්තක් සිදුවී නොමැති බව සඳහන් කළේය.

තම දෙපාර්තුමේන්තුව සතුව ඇති සිතියමක් ලකුණු කිරීම මගින් විල්පත්තුව උතුරු අභය භුමිය ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට තිබෙන බවද මන්නාරම දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරීවරයා කියා සිටියේය.