ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රමෝපාය සංවර්ධන පනත සම්මතයි

  • 2014 අප්‍රේල් 24

ක්‍රමෝපාය සංවර්ධන පනත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද හැත්තෑ එකකින් සම්මත විය.

Image copyright bbc
Image caption ඉදි කිරීමට අවසර දී ඇති හෝටලයේ කැසිනෝ නැහැ -ජනාධිපති මහින්ද රාජපක්ෂ

පනතට පක්ෂව ඡන්ද 113 ක් ලැබුණු අතර විපකෂව ලැබුණේ ඡන්ද 42 ක් පමණයි.

හෙළ උරුමය මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පනතට විපක්ෂව ඡන්දය දුන් නමුත් ඇමති චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ සෙසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

මේ අතර ප්‍රකාශයක් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ඉදි කිරීමට අවසර දී ඇති හෝටලයේ කැසිනෝ සූදුවට අවසර දී නැති බවයි.

මෙම පනතට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඕස්ට්‍රේලියානු ජාතික කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් ගේ ක්‍රවුන් (Crown) සමාගමට වෙන් කර ඇති ඉඩම පිහිටි පරිශ්‍රය අසල විරෝධතා දැක්වූහ.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් පා ගමනින් ඩී ආර් විජයවර්ධන මාවත ඔස්සේ ගමන් කළේ එහි මේ වනවිටත් ක්‍රියාත්මක කැසිනෝ ශාලාවක් දෙසටයි.

Image caption කැසිනෝ නැත්නම් ඇයි කැසිනෝ නැහැ කියලා පනතේ කියන්න බැරි -හර්ෂ ද සිල්වා

එම ස්ථානය ඉදිරිපිටට පැමිණි ඔවුහු එම කැසිනෝ ශාලාව නීති විරෝධී අන්දමෙන් ආණ්ඩුවේ ප්‍රධානියෙකු පවත්වා ගෙන යන බවට චෝදනා කරමින් විරෝධතාවයේ යෙදුනහ.

එජාප සංශෝධනය

මෙම හෝටල්වල කැසිනෝ නැතිනම් පනතට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ සංශෝධනය ඇතුළත් කිරීමට ආණ්ඩුව මැලිකමක් දක්වන්නේ ඇයි දැයි මෙහිදී අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

" අපි අහන්නේ කැසිනෝ නැත්නම් ඇයි කැසිනෝ නැහැ කියලා පනතේ කියන්න බැරි" හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මහානායක හිමිවරුන් ඇතුළු සියලු ආගමික නායකයන් විරෝධය පල කළ මෙම පනත ආණ්ඩුව සම්මත කර ගතහොත් එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවයි සංදේශයට අදහස් දැක්වූ පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් පැවසුවේ.