ක්‍රිකට් පුහුණුකරු මාවන්

Image copyright AFP

පෝල් ෆාබ්‍රේස් හදිසියේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට හිටපු නායක මාවන් අතපත්තු පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

නව පදවිය භාර ගනු ලබන අවස්ථාව වන විට ඔහු පිතිකරුවන්ගේ පුහුණුව භාරව කටයුතු කරමිනුයි සිටියේ.

පදවියට පත් කරනු ලැබීමෙන් අනතුරුව බීබීසිය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මාවන් අතපත්තු කියා සිටියේ, මෙය තම ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථාවක් වන අතරම තමා ලද ගෞරවයක් ද වන බවයි.

“පළමුවෙන්, මම ජාතික කණ්ඩායමේ සාමාජිකයකු හැටියට මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කළා. අනතුරුව මම කණ්ඩායමේ නායකයා හැටියටයි ක්‍රියා කළේ. දැන් ජාතික කණ්ඩායමේ පුහුණුකරු පදවියේත් ක්‍රියා කිරීමට ලැබුණ මේ අවස්ථාව මට සාඩම්බර මොහොතක්” මාවන් අතපත්තු බීබීසියට ප්‍රකාශ කළේය.

පෝල් ෆාබ්‍රේස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මේ අතර බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, තමා පදවිය අත්හැර යාම නිසා ශ්‍රී ලංකාව පත් වූ කනස්සල්ල තමාට වැටහෙන බවයි.

“තනතුරක් භාර ගෙන මාස හතරකින් ඉවත් වීම හොඳ දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය මට තේරෙනවා. ඔවුන්ගේ කනස්සල්ල මට තේරෙනවා. ඒත් මම හිතනවා අපි සුහදව සමු ගත්ත කියල” පෝල් ෆාබ්‍රේස් පවසයි.

Image copyright AFP

පුහුණුකරු හැටියට ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ගත කල කාලය සාර්ථක එකක් වූ බවයි , ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

කාන්තා කණ්ඩායම

මේ අතරතුර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු පත් කර තිබේ.

කාන්තා කණ්ඩායමේ උප නායක වශයෙන් පත් කර ඇත්තේ උදේශිකා ප්‍රබෝධිනී යි.

මෙම නව පත්වීම්වලට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි ක්‍රිකට් බලධාරීන් පවසන්නේ.