ගෘහ සේවිකාවෝ දිවි නසා ගැනීමේ උත්සාහ 'වැඩිවේ'

Image caption කටාරයේ සේවය කරන 130,000 කට ආසන්න විදේශිකයන් අතරින් 84,000 ක්ම කාන්තාවන්

කටාරයේ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ගෘහ සේවිකාවන් ලිංගික අතවර ඇතුළු බොහෝ අතවරවලට මුහුණ දෙන බව අලුත්ම වාර්තාවක් ප්‍රකාශ කරයි.

ඇතැම් ගෘහ සේවිකාවන්ට සතියකට පැය සියයක් තරම් කාලයක් වැඩ කිරීමට සිදු වී තිබෙන බව ඇම්නස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාව, මේ තත්වය යටතේ ඇතැම් ගෘහ සේවිකාවන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන බවත් සඳහන් කරයි.

විශේෂයෙන්ම ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ සිට පැමිණි කාන්තාවන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ අරමුණ ජීවිතයට හානි කර ගැනීමට වඩා තම කටුක ජීවිතය පිළිබඳව සමාජයේ අවධානය යොමු කර ගැනීම බව පර්යේෂකයන්ගේ මතයයි.

සිය රටේදී පොරොන්දු වන පහසුකම් සහ කටාරයේදී මුහුණ දෙන අත්දැකීම එකිනෙකට හාත්පසින්ම පරස්පර වීම ඔවුන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීමට ප්‍රධානම හේතුව බවද ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.

දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල සිට පැමිණි 130,000 කට ආසන්න විදේශීය කම්කරුවන් කටාරයේ සේවය කරන අතර එයින් 84,000 ක්ම කාන්තාවන්.

මේ කාන්තාවන් අතරින් කාන්තාවන් පනස් දෙදෙනකුගේ අත්දැකීම් සිය වාර්තාවට පදනම් වූ බවත් ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.