හමුදාවට රැකියා දෙන්න 'අයිතියක් නෑ'

Image caption වැඩපිළිවෙලේ අරමුණ 'දෙමළ තරුණයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම'

යාපන අර්ධද්වීපයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීම පිණිස බව පවසමින් යුද හමුදාව ඔවුන්ගේ තොරතුරු රැස් කිරීමට උත්සාහ කිරීමේ ක්‍රියාදාමයට දෙමළ ජාතික සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

දස දහසකට වැඩි රාජ්‍ය හා පෞද්ගලික අංශවල රැකියා ඇබෑර්තු සඳහා උතුරේ තරුණ තරුණියන්ට අවස්ථාවක් සලසා දිය හැකි බැවින් මුලින්ම ලියාපදිංචි වන ලෙස යුද හමුදාව යාපනයේ ගම්මානවල සැරිසරමින් එහි වැසියන්ට දැනුම් දී තිබේ.

තමන්ට ආරක්ෂාවක් නොමැති බව පවසමින් මේ පිළිබඳව අදහස් දැක්වීම යාපන වැසියෝ ප්‍රතික්ෂේප කළහ.

'එල්ටීටීඊය හිස එසවීම'

රැකියා දීම පිණිස රජයේ වෙනම ක්‍රමවේදයන් තිබියදී යුද හමුදාව ඊට මැදිහත් වීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය තරයේම විරුද්ධ වන බවයි, එම ගම්වැසියන් හමු වුන උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය එස් අයින්කරනේෂන් කියා සිටියේ.

යුද හමුදාව මේ අවස්ථාවේදී උත්සාහය යාපනයේ තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන බව පවසමින් ඔවුන්ගේ සියලු තොරතුරු ලබා ගැනීම මිස රැකියා ලබාදීමක් නොවන බවටද අමාත්‍යවරයා චෝදනා කරයි.

යාපනයේ තරුණ පිරිස් යළි එල්ටීටීඊ සංවිධානයට සහාය පළ කරණු ඇතැයි යුද හමුදාව තුළ තිබෙන අනිසි බිය හේතුවෙන් ඔවුන් පිළිබඳ සියලු තොරතුරු රැස් කොට තබා ගැනීම මෙම අලුත්ම ව්‍යාපෘතියේ මූලික අරමුණ බවද පළාත් සභා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව රජයට විරෝධය පළකිරීම පිණිස තමන් පක්ෂයට යෝජනාවක් ගෙන එන බවද ඔහු සඳහන් කළේය.

පළාත් සභා අමාත්‍ය එස් අයින්කරනේෂන් එල්ල කරන චෝදනාව පිළිබඳව හමුදාවේ ප්‍රතිචාරය ලබා ගැනීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර