'එංගලන්ත කණ්ඩායම එංගලන්තයේදී පැරදවීම අසීරු දෙයක්'

Image copyright AFP
Image caption 'පිතිකරුවන් දක්ෂතා අතර සිටීමත් ඉතා වැදගත්'

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය තුළ දී පරාජය කිරීම අසීරු කටයුත්තක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ බීබීසීය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

ශ්‍රී ලංකා පිලට ඇති විශාලතම අභියෝගය වන්නේ එංගලන්තයේ කාලගුණයට හැඩ ගැසීම වන බවයි නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටින්නේ.

‘තරඟ පැවැත්වෙන්නේ ග්‍රීෂ්ම සෘතුව ආරම්භයේදී. පින්න තියෙන්න පුළුවන්. එහෙම වුනොත් වේග පන්දු යවන්නන්ට වාසි දායක වෙනවා.’ මැතිව්ස් ප්‍රකාශ කළේය.

මෑතකදී එංගලන්ත පිල සමඟ කිහිප විටක් තරඟ වැදී ඇති හෙයින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව තරමක අවබෝධයක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතින බවයි බීබීසී වාර්තාකරු චාල්ස් හැවිලන්ඩ් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියේ.

‘කාලගුණයට සහ එංගලන්ත කඩුලු වලට හුරු වීම වගේම පිතිකරුවන් දක්ෂතා අතර සිටීමත් ඉතා වැදගත්. ඇත්තටම මුළු කණ්ඩායම ම තමන් ගැන විශ්වාසය තියල ක්‍රීඩා කරන එකයි වැදගත් වන්නේ.’ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.

හිටපු පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් ඉල්ලා අස්වීම දැන් අතීතයට සම්බන්ධ කරුණක් බව පැවසූ නායක ඇන්ජෙලෝ මැතිව්ස්, ක්‍රීඩකයන්ගේ වැටුප් සම්බන්ධ ගැටලුව ද විසඳී තිබෙන බැවින් තමන්ට ක්‍රීඩාව පිළිබඳ අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවත් සඳහන් කළේය.