‘කාරක සභාවට සහභාගී වෙන්න’- දිනේෂ්

දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වන්නේ නම්, දෙමළ ඩයස්පෝරා සංවිධානවලට එරෙහිව පණවා තිබෙන තහනම ඉවත් කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙන බව ආණ්ඩුව පවසයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඒ බව පැවසුවේ උතුරු පළාත් සභා සඳුදා සම්මත කළ යෝජනා පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිචාරය සංදේශයට පැහැදිලි කරමින්.

ශ්‍රී ලංකා රජය විසින් තහනම් කරන ලද්දේ ජාතික ආරක්ෂාවට හානිකර සංවිධාන හා පුද්ගලයින්ට බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දෙමළ ඩයස්පෝරා සංවිධානවලට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත කරනු ලැබුවේ උතුරු පළාත් සභාවට එවැනි සංවිධාන සමඟ තිබෙන දේශපාලන සම්බන්ධතා හේතුවෙන් බව අමාත්‍යවරයාගේ මතයයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව පළාත් සභාව සම්මත කළ තවත් යෝජනාවක්.

"නමුත් මෙවැනි නීති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නැහැ කියන කාරණය සම්බන්ධව ටීඑන්ඒ සංවිධානයට හෝ තහනම් කරපු සංවිධානවලට හෝ මහ ඇමතිතුමාට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ඉදිරියට ඇවිල්ලා කරුණු කරන්න පුළුවන් කමක් තිබෙනවා," යනුවෙන්ද අමාත්‍ය ගුණවර්ධන සඳහන් කළේය.

කෙසේ වෙතත්, විදේශීය රටවල නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන සංවිධාන සහ පුද්ගලයින් තහනම් කිරීම තුලින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන බවයි, උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සංධාන මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් සංදේශයට කියා සිටියේය.

රජය විසින් තහනම් කරනු ලැබ තිබෙන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාවට මූල්‍ය උපකාර කරන සංවිධාන බවද පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මත වීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රණාමය පුද කරන යෝජනාවක් ඇතුළු යෝජනා ගණනාවක් උතුරු පළාත් සභාව සඳුදා සම්මත කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර