මර්ස්(MERS) පැතිරීම මැඩලීමේ ශ්‍රී ලංකා සැලසුම්

Image copyright AP

සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල පැතිර යන මර්ස්(MERS) නමින් හැදින්වෙන ශ්වසන වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ඉකුත් සති කිහිප තුල සීග්‍රයෙන් වර්ධනය වී තිබේ.

සෞදි අරාබියේ රෝගය හේතුවෙන් දස දෙනකු මිය ගොස් ඇති බවට ඉකුත් සති අන්තයේ වාර්තා විය.

මේ සමඟ ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් රෝගය පිලිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක්ද පත්කොට ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ , වෛද්‍ය ප්‍රභා පලිහවඩන පැවසුවේ එම කමිටුව මර්ස් රෝගය මුලින්ම වාර්තා වූ 2012 වසරේ සිටම ශ්‍රී ලංකාව රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මේ කමිටුවට ඇතුළත් වන බව ඇය පැවසුවාය.

දැනුවත් කිරීම්

මැද පෙරදිග රටවල සිට පැමිණෙන මෙන්ම එම රටවලට යන ශ්‍රී ලාංකිකයන්ට පත්‍රිකා මගින්, මුස්ලිම් දේවස්ථානවල මගින් ජන මාධ්‍ය මගින් රෝගය සහ රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් කෙරෙන බවයි වෛද්‍ය ප්‍රභා පලිහවඩන ප්‍රකාශ කළේ.

රැකියා සඳහා යන පිරිස් මෙන්ම මක්කම හජ් වන්දනාවේ යන බැතිමතුන්ටද ගුවන් තොටුපලේදී පත්‍රිකා බෙදා හැරෙන බවයි ඇය පැවසුවේ.

රෝග ලක්ෂණ ඇති රෝගියකු රෝහලකට පැමිණි විට වහාම අදාළ සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කරන ලෙසත් වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දෙන ලෙසත් රෝහල් පද්ධතියට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ , වෛද්‍ය ප්‍රභා පලිහවඩන තවදුරටත් ප්‍රකාශ කළාය.

හදිසියේ රෝගය වර්ධනය වීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර මධ්‍යධරණි කලාපය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන නිලධාරී බහායිදින් එකුසි ප්‍රකාශ කළේ.

රෝහල් කාර්ය මණ්ඩලය

සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද රෝගය වැළදීම ඇති නිසා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයක් යොමු කොට තිබේ.

“මේක සිද්ධ වුණේ ඉකුත් සති කිහිප තුල. විශේෂයෙන්ම සවුදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. අපේ විශේෂ අවධානය යොමු වෙලා තියෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලයට මේ රෝගය වැලඳුණේ කොහොමද කියන එක ගැන”

මීට වසර දෙකකට ඉහතදී රෝගය මුලින්ම මතුවුනු අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පරීක්ෂණවලින් රෝගීන් 253 දෙනකුට රෝගය වැළදී ඇති බව තහවුරු වු බවයි ඔහු පැවසුවේ.

මෙයින් 93 දෙනකු මිය ගිය බවත් බහුතරයක් රෝගීන් වාර්තාවී ඇත්තේ මැද පෙර දිග රටවලින් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, ඉතාලිය, බ්‍රිතාන්‍ය, ඉන්දුනීසියාව , ටියුනීසියාව මැලේසියාව සහ පිලිපීනය යන රටවලිනුත් රෝගීන් හමුවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර මධ්‍යධරණි කලාපය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන නිලධාරී බහායිදින් එකුසි පැවසුවේය.