ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘යුරෝපා අභියෝගය භාර ගන්නවා’ - මාවන්

‘විස්සයි විස්ස’ ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු සහභාගී වන ප්‍රථම විදේශ සංචාරය වන එංගලන්ත හා අයර්ලන්ත තරගාවලියට සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද, සිකුරාදා දහවල් අයර්ලන්තය බලා පිටත් විය.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් ඇමතූ ශ්‍රී ලංකා පිලේ නව පුහුණුකරු මාවන් අතපත්තු පැවසුවේ, මෙම තරගාවලිය ජය ගැනීමේ අභියෝගය තමන් ඇතුළු කණ්ඩායම විසින් භාර ගනු ලබන බවයි. මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමග එක් දින තරඟ දෙකකට ද ,එංගලන්තය සමග එක් දින තරඟ පහකට ‘විස්සය් විස්ස’ තරඟයකට සහ ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වීමට නියමිතයි.

‘තරඟාවලි දෙකකින් පමණක් පුහුණුකරුවකුගේ දක්ෂතා මැනීමට තරම් පටු අදහස් දරන පුද්ගලයන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටිනු ඇතැයි තමන් නොසිතන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු මාවන් අතපත්තු ඉහත කී මාධ්‍යය හමුවේදී කියා සිටියේ.

“විස්ස විස්ස ලෝක කුසලානය දිනා ගත්තෙත්, ආසියානු කුසලානය දිනා ගත්තෙත්, මාස දෙකක තුනක උත්සාහයකින් නොවෙයි”මාවන් අතපත්තු කියා සිටියි.

තණතිල්ලේ අභියෝගය

තමා කෙරෙහි විශ්වාසය තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර ලබා දීම පිළිබඳව සතුටු වන බව පැවසූ මාවන් අතපත්තු, මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් කණ්ඩායම හොඳින් පුහුණුවීම් වල යෙදුණු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ, අනුව එංගන්තයේ හා අයර්ලන්තයේ තන තීරු වලට හැඩ ගැසීම තම ක්‍රීඩකයන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන බවයි.

හිටපු පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් හදිසියේ ඉවත් වීම කණ්ඩායමට යම් පාඩුවක් බව පැවසූ ඇන්ජලෝ මැතිව්ස්, එහෙත් මාවන් අතපත්තු එම හිඩැස සාර්ථකව පුරවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කියා සිටියි.

‘එංගලන්ත කණ්ඩායම මේ වන විට පරාජිත මානසිකත්වයක සිටීම’ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හොඳ අවස්ථාවක් දැයි විමසූ විට එය පිළි ගනිමින් නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියාසිටියේ, එම කරුණම එංගලන්ත කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට දැඩි තරඟයක් ඇති කිරීමට හේතු විය හැකි බවයි.

අවසන් වරට ශ්‍රී ලංකාව 2011 වසරේදී එංගලන්තයේ සංචාරය කළ අතර, එම තරඟාවලියේදී ටෙස්ට් තරඟ 1-0 ක් ලෙසත්, එක් දින තරග 3 - 2 ක් ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.