ඥානසාර හිමි ඇතුළු පිරිසක් ඇප පිට නිදහස්

Image caption ජාතික බල සේනාව කොළඹ නිපොන් හෝටලයේ කැඳවා තිබුන මාධ්‍ය සාකච්ඡාවට බොදු බල සේනා සංවිධානය කඩා වැදුනේය

ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සහ ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවට බාධා කිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හය දෙනකු ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

ආගමික සංහිඳියාවට බාධා වන ක්‍රියාවල යෙදීමෙන් වලකින ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ බොදු බල සේනාවට සහ ජාතික බල සේනාවට නියෝග කළේය.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර හිමිවරුන්ට ඇප නියම කිරීමට අධිකරණය තීන්දු කළ බවයි, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාධ්‍යවේදීන්ට කියා සිටියේ.

"සෑම ආගමකම වැරදි කරන කණ්ඩායම් ඉන්නවා. බුද්ධාගමේ, ඉස්ලාම් ආගමේ පමණක් නෙවෙයි කතෝලික ආගමේත් කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. මේ අයට නීතියට පිටින් ගොස් වැරදි කරන්න ඉඩ දෙන්න බැහැ. එවැනි අයට එරෙහිව කටයුතු කරන්න පොලිසිය පසුබට වන්නේ නැහැ," යනුවෙන්ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

'කුරානයට අපහාස'

එහෙත් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති.

Image caption බොදු බල සේනාවට එරෙහිව පියවර ගන්නා බවට ජනපති පොරොන්දු වූ බව විජිත හිමියෝ පවසති

"අපේ ආගමට අනතුරක් සිදුවන හැම අවස්ථාවකම අපි නැගී සිටිනවා. මේ වගේ ක්‍රියාවලින් අපේ ගමන නවත්වන්න බෑ. කුරානයට අපහාස කළ බවට අපට චෝදනාවක් එල්ල වී තිබෙනවා. කුරානය විවේචනය කරන්න බැරි මුස්ලිම් අයට පමණයි. අපට ඒකෙ තහනමක් නැහැ," යනුවෙන්ද එහිමියෝ පැවසූහ.

තමන්ට එරෙහිව ක්‍රියාත්මක කළ නීතිය "දේශීය සම්පත් කොල්ලකන" රිෂාඩ් බදියුද්දීන් ඇමැතිවරයාටද එරෙහිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය වග බලා ගත යුතු බවද ඥානසාර හිමියෝ පැවසූහ.

බොදු බල සේනා සංවිධානය එල්ල කරන චෝදනා අමාත්‍ය බදියුද්දීන් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරයි.

බොදු බල සේනා සංවිධානයෙන් ජාතික බල සේනා සංවිධානයේ සාමාජිකයින්ට එරෙහිව එල්ලවී ඇති තර්ජන පිළිබඳව අධිකරණයට පැමිණිලි කල බවයි, ජාතික බල සේනා සංවිධානය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී සේනක පෙරේරා කියා සිටියේ.

නඩු විභාගය ලබන මස නම වැනි දිනට කල් තැබූ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර