‘විසඳුමක් නැතොත් යළි වර්ජනයේ’ - හෙද සම්මේලනය

සූතිකා හෙද පුහුණුව සහ මානසික හෙද පුහුණුවට අදාළ ගැටළු සඳහා විසඳුම් ඉල්ලමින් දින තුනක් තිස්සේ පෙරට යමින් තිබුන හෙද වැඩවර්ජනය හෙට අඟහරුවාදා උදේ හතට අත් හිටුවීමට තීන්දු කරන ලද්දේ සිය ඉල්ලීම් ඉටු කිරීම සඳහා ආණ්ඩුවට තවත් කාලය ලබා දීමට යයි සෞඛ්‍යය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

වැඩ වැරුම තාවකාලිකව අත්හිටවීමේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසු බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වූ සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මහජනතාවට මුහුණ දීමට සිදු වූ අසීරු තත්වයත් ඉහත කී තීන්දුව ගැනීමේදී සැලකිල්ලට ගත් බවයි කියා සිටියේ.

විසඳුම කමිටුවකට

“වැඩ වැරුම නතර කළත් ප්‍රශ්නයට විසඳුම් ලැබී නැහැ. නමුත් ප්‍රශ්නය විසඳීමට මුදල් ලේකම් පී.බී.ජසුන්දරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට සතියක කාලය දෙනවා මේ ප්‍රශ්නය විසඳීමට” සමන් රත්නප්‍රිය බීබීසියට කියා සිටියේය.

Image copyright www.psunu.com

සාධාරණ විසඳුමක් නොදුන්නොත් යළි වර්ජන ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවයි ඔහු අවධාරණයෙන් කියා සිටියේ.

සූතිකා හෙද පුහුණුව සහ මානසික හෙද පුහුණුවට අදාළ පාඨමාලා නතර කරනු ලැබීමයි මෙම වර්ජනය දියත් කරනු ලැබීමට හේතු වුණේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතා අත්තනෝමතික ආකාරයට ඉහත කී පාඨමාලා කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇති බවයි සෞඛ්‍යය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසන්නේ.

පදයට නටන පාලනයක්

“සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ප්‍රශ්නයට උත්තරයක් නැහැ. වෛද්‍යවරුන්ගේ පදයට නටන සෞඛ්‍යය පාලකයෝ ප්‍රශ්නය මග හැරියා. එම හේතුවෙනුයි අපට වර්ජන ක්‍රියා මාර්ගයකට යාමට සිදු වුණේ ” හෙද වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය පැහැදිළි කළේය.

මෙම වැඩ වර්ජනයට තුඩු දුන් හේතු මහජනතාව සහ ආණ්ඩුව විසින් තේරුම් ගත යුතුව ඇතැයි සඳහන් කළ සෞඛ්‍යය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය, තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ වැටුප් හෝ වෙනත් ප්‍රතිලාභ නොව හෙද අධ්‍යාපන අයිතිය පමණක් වන බවයි පෙන්වා දුන්නේ.

මහජනතාව වෙනුවෙන් කරන එම ඉල්ලීම ඉටු කිරීමට පාලකයන්ට නොහැකි නම් යළිත් වර්ජන ක්‍රියාමාර්ගයකට යාම හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැති බවත් ඔහු අවධාරනයෙන් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර