ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දඹුල්ල පල්ලිය 'කඩා ඉවත් කිරීමේ අවදානමක්'

Image caption 'පල්ලිය කඩා ඉවත් නො කරන බවට ජනාධිපති ප්‍රතිඥා දී තිබෙනවා'

දඹුල්ල නගරයේ මුස්ලිම් පල්ලිය කඩා ඉවත් කිරීමේ අවදානමක් ඇති වී තිබෙන බව පල්ලියේ පරිපාලනය ප්‍රකාශ කරයි.

අලුතෙන් නිර්මාණය කෙරෙන අලුත් මහාමාර්ගයක් පල්ලිය ආසන්නයටම ලඟා වී ඇති බව පල්ලියේ භාරකාර මණ්ඩල සාමාජිකයකු වන නීතිඥ බුහාර්දීන් අමානුල්ලා සංදේශයට කියා සිටියේය.

මෙම මහාමාර්ගය ඉදිකිරීම අඟහරුවාදා පෙරවරුවේ ආරම්භ කෙරුණේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බවද ඔහු සඳහන් කළේය.

පල්ලිය ඉවත් කිරීමේ අවදානම පිළිබඳව රජයේ නිලධාරීන් සහ අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවද නීතිඥ අමානුල්ලා පැවසීය.

දඹුල්ල පල්ලිය කඩා ඉවත් නො කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට ඉහතදී ප්‍රතිඥා දී තිබෙන බවද මුස්ලිම් නායකයෝ පෙන්වා දෙති.

'අසත්‍ය චෝදනාවක්'

Image caption 'පෙරහැර ගමන් කිරීමට අලුතෙන් මාර්ගයක් සකස් කරලා තියනවා'

කෙසේ නමුත් දඹුල්ල මුස්ලිම් පල්ලියේ පරිපාලනය එල්ල කරන චෝදනාව අසත්‍යයක් බවයි රන්ගිරි දඹුලු පාර්ශවයේ මහනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් සංදේශය කළ විමසීමක දී කියා සිටියේ.

ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම එහිමියෝ ප්‍රතික්ෂේප කළහ.

දඹුල්ල මුස්ලිම් පල්ලිය කඩා ඉවත් කිරීමේ කිසිදු තර්ජනයක් මතු වී නොමැති බවයි, පොලිසිය මේ අතර ප්‍රකාශ කරන්නේ.

"පෙරහැර ගමන් කිරීමට අලුතෙන් මාර්ගයක් සකස් කරලා තියනවා. පල්ලිය අසලින් මාර්ගය සකස් කළත් කිසිම අවස්ථාවක මුස්ලිම් පල්ලියට හානියක් සිදු වී නැහැ," බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

පල්ලිය කඩා ඉවත් කිරීමේ අදහසක් තිබෙන බව නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ද අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ ය.